May 19, 2024

යාපනයේ තවත් අක්කර 700ක් ජනතාවට බෙදාදෙයි 

යාපනයේ අධි ආරක්ෂිත කළාප වශයෙන් පැවති ඉඩම් අක්කර හත්සීයක් පමණ නිදහස් කොට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ‍ඊයේ (12) ඒවායෙහි අයිතිකරුවන් වෙත බෙදාදී තිබේ.

මෙම ඉඩම් පිහිටා තිබුණේ යාපනයේ කන්කසන්තුරේ සහ තෙලිප්පලෙයි යන පළාත්වලයි.

එම ඉඩම්වල අයිතිකරුවන් වශයෙන් පවුල් 533ක් හදුනාගෙන තිබූ අතර රජයේ පාසල් දෙකක්ද නිදහස් කළ ඉඩම් අතර වෙයි.

ඉඩම් බෙදාදීමේ අවස්ථාවට එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මේ බෙදාදෙන්නේ අනුන්ට අයත් ඉඩම් නොව ඔවුන්ටම අයත් ඉඩම් බවයි.

පසුගිය කාලය තුලදී ඉඩම් විශාල ප්‍රමාණයක් බෙදා දුන් බවද තවත් බෙදාදීමට ඇති ඉඩම් ඉදිරි මාස කිහිපය ඇතුළත අයිතිකරුවන්ට බෙදාදීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

උතුරේ වැසියන්ගේ ඉඩම් මෙලෙස බෙදාදීම පිළිබදව දකුණේ ඉතාම සුලු පිරිසක් රජය විවේචනය කරමින් කතා කරන බව කී ජනාධිපතිවරයා එම පිරිස්වලට උතුරේ ජනතාව විදින දුක දැකබලා ගැනීමට පැමිනෙන මෙන්ද ඉල්ලීමක් කළේය.

ජනාධිපතිවරයා පැවසුවේ ජාතීන් අතර සංහිදියාව ඇතිකිරීමට බොහෝ දෙනෙකු කථා කරන අතරතුර ඔවුන් එය ඇති කිරීම පිණිස පැමිණෙන්නේ උතුරට බවයි.

නමුත් ඔවුන් එසේ කරන්නේ තත්ත්වය හරිහැටි අවබෝධ කරගෙන නොවන වග පෙන්වාදුන් ජනාධිපතිවරයා ජාතීන් අතර සංහිදියාව ඇතිකිරීම ආරම්භ කළ යුත්තේ දකුණේ ජනතාව තුළින් බවද කියා සිටියේය.

සංහිදියාව ඇති කිරීම සදහා සියලු ජාතීන්ට සමානාත්මතාවයෙන් යුතුව ජීවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට විවේචන වලින් තොරව සහයෝගය ලබාදෙන මෙන්ද ජනාධිපතිවරයා සියලු දෙනාගෙන්ම ඉල්ලීමක්ද කළේය.

දෙමළ ජාතික සන්ධානය රජයට ඉදිරිපත්කොට ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව යාපනයේ වැසියන්ට අහිමි වී ගොස් ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 7600 කි.

ජනාධිපතිවරයා විසින් මෙවර බෙදාදුන් ඉඩම් අක්කර 700 ද සමග මේ වනවිට උතුරේ වැසියන්ට ලැබී ඇත්තේ ඉඩම් අක්කර 3000 කට ආසන්න ප්‍රමාණයක් පමණක් බවද ඔවුන් යාපනයේ පැවති මේ උත්සවයේදී පවසා තිබේ.

වවුනියාවේ දිනසේන රතුගමගේ  

 

Rate this item
(0 votes)