May 19, 2024

දංකොටුවේ සමූල ඝාතනය ගැන හොයන්න පරීක්ෂණ කණ්ඩායම් 07 ක්

දංකොටුව - ඉරබඩගම - කොස්හේනවත්ත ප්‍රදේශයේ දී ගිනිගෙන විනාශ වූ වෑන් රථයක තිබී හමු වූ මළ සිරුරු 05 සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට අදාළව පුද්ගලයන් 20 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස් කණ්ඩායම් 07ක් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කරයි.

දංකොටුව - ඉරබඩගම - කොස්හේනවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී මෙම වෑන් රථය දංකොටුව පොලිසිය ඊයේ (12)සොයා ගත්තේ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව ය.

ජන ශූන්‍ය ප්‍රදේශයක්වන මෙම ප්‍රදේශයට අදාළ වෑන් රථය පැමිණ තිබුණේ ඊයේ අලුයම 02.00 ත් 05.00 ත් අතර බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

ගිනිගෙන විනාශ වූ වෑන් රථය තුළ තිබී හඳුනා ගැනීමට නොහැකි තරමට පිළිස්සී තිබූ මළ සිරුරු 05ක කොටස් ද සොයා ගෙන ඇත.

පිළිස්සී මිය ගොස් සිටි පුද්ගලයින්ගේ මරණ පරීක්ෂණ පවත්වා ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ඊයේ පස්වරුවේ එම ස්ථානයට පැමිණි මාරවිල මහේස්ත්‍රාත් පසන් අමරසිංහ, මීගමුව අධිකරණ වෛද්‍ය  නිලධාරීවරයාට නියෝග කළේ ය.

මෙම මළ සිරුරු කාගේ ද යන්න තවමත් අනාවරණ වී නොමැත. මොවුන් ඝාතනය කර වෑන් රථයේ දමා මෙම ස්ථානයට රැගෙනවිත් ඊට ගිනිතබා ඇති බවට පොලිසිය සැක කරයි.

වෑන් රථය තිබූ ස්ථානයේ මීට පෙර ද ඝාතන කිහිපයක් සිදු ව ඇති අතර මෙම වෑන් රථය කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් එකක් බවට මේ වනවිට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වී ඇත. ඇය එම වෑන් රථය පෞද්ගලික මූල්‍ය ආයතනයට කුලී පදනම මත ලබා දී තිබේ.

අනතුරු ව අදාළ සමාගම විසින් කල් බදු ක්‍රිමයට වාහන ලබාගෙන හිඟ වාරික ඇති වාහන අත්පත් කර ගන්නා ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන මාකඳුර - කජුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙත ලබා දී ඇති බවට හෙළිදරව් විය.

සෙනරත් කපිල බණ්ඩාර හෙවත් නේවි කපිල ලෙස හඳුන්වන එම පුද්ගලයාගේ බිරිඳ ඊයේ වෑන් රථය ගිනිගත් ස්ථානයට පැමිණ තිබේ.

ඔහුට එරෙහිව මිනී මැරුම් සහ කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාගවන බවට වාර්තා වේ.

 

Rate this item
(0 votes)