May 19, 2024

කොටදෙණියාව පොලීසියෙන් කෝටියක් වන්දි ඉල්ලයි

කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය පැහැරගෙන දූෂණය කර මරා දැමීමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තමා අත්අඩංගුවට ගෙන, වරද පිළිගන්නා ලෙසට බල කරමින් අමානුෂික ලෙස පහර දෙමින් දින ගණනාවක් පොලීසියේ රඳවා ගෙන සිටීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ගම්පහ බඩල්ගම ප‍්‍රදේශයේ පදිංචි එක්දරු පියා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) තීන්දු කළේ ය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප‍්‍රියසාත් ඩෙප් සහ උපාලි අබේරත්න යන මහත්වරුන්ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳ වූ අතර එහි දී විනිසුරු මඩුල්ල විසින් එම පෙත්සම් විභාගයට අවසර දී ඇත.

ඒ අනුව එළැඹෙන මැයි 26 වැනි දා මෙම පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරන ලදී.

ගම්පහ බඩල්ගම ප‍්‍රදේශයේ පදිංචි කැලුම් අත්තනායක නැමති 31 හැවිරිදි එක්දරු පියා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති සුජිත් උදය කුමාර, මීගමුව සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරළ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක, එහි අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල, පොලිස්පති සහ නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.

තමන් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දී මරණීය තර්ජන එල්ල කළ කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, මීගමුව සහකාර පොලිස් අධිකාරී අතුකෝරාළ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක අයට එරෙහි ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියම කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 March 2016 12:23