May 19, 2024

දංකොටුවේ සිද්ධිය පාතල කල්ලි දෙකක ගැටුමක්?

දංකොටුව - බුජ්ජම්පොල ප්‍රදේශයේ පාළු ස්ථානයක තිබී ගිනි ගෙන විනාශ වූ වෑන් රථයක තිබී හමුවූ මළ සිරුර සම්බන්ධයෙන් වූ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය මාරවිල අතිරේක දිසා විනිසුරු පසන් අමරසිංහ මහතා විසින් අද (11) දහවල් එම ස්ථානයේදී සිදු කරන ලදි.

ගිනි ගෙන විනාශ වූ වෑන් රථය තුළ හදුනා ගැනීමට නොහැකි තරමට පිළිස්සී ඇති මළ සිරුර 05 ක් තිබූ බව දංකොටුව පොලීසිය කියයි.

පිළිස්සී ගිය මළ සිරුරු සහිත වෑන් රථය තිබී ඇත්තේ දංකොටුව පොලිස් වසමේ බුජ්ජම්පොල - ඉරබඩගම ප්‍රදේශයේ පාළු ස්ථානයකය. එම මාර්ගයේ ගමන් කරන්නේ විශාල වතු වලට යන සේවකයින් පමණක් වන අතර සවස 6.00 න් පසුව මෙම මාර්ගය සාමාන්‍යයෙන් භාවිතා නොවන බවද පැවසේ.

හලාවත සිට කුලී ගමනනක් යන මුවාවෙන් රැගෙන ගිය ත්‍රී රෝද රථ රියදුරෙකුව මීට මාස 05 කට පමණ පෙර ඝාතනය කර තිබුනේද මෙම ස්ථානයේදීම බව පොලීසිය පවසයි.

අද අළුයම මෙම මාර්ගයේ ගමන් කළ අයෙකු පිළිස්සී ගොස් ඇති වෑන් රථය දැක ඒ සම්බන්දයෙන් තව දුරටත් සොයා බලන විට එහි තිබූ මළ සිරුර දැක ඇත. පසුව ඔහු මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) සහ දංකොටුව පොලීසියට දන්වා ඇත.

පිළිස්සී ඇති මළ සිරුර හදුනා ගැනීමට නොහැකි තරමට දැවී අළුවී ගොස් තිබී ඇත.

ගිනිගෙන විනාශ වී ඇත්තේ ෆිනෑන්ස් සමාගමටක අයත් අංක WP  PH 1080 වෑන් රථයක් බවට හදුනා ගෙන ඇති අතර එය පදවා ඇත්තේ පන්නල ප්‍රදේශයේ පදිංචි කපිල නම් අයෙකු විසිනි. මිනිස් ඝාතනයක් මෙන්ම තම දියණිය ඇතුළු තවත් තරුණියන් කීප දෙනෙකු දුෂණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. ඔහුගේ බිරිද සිද්ධිය වූ ස්ථානයට පැමිණ ගිනි ගෙන විනාශ වී ඇත්තේ තම ස්වාමි පුරුෂයා පැදවූ වාහන බවට හදුනා ගෙන ඇතත් එය තුළ පිළිස්සී තිබූ මළ සිරුර අතර සැමියාගේ සිරුර ඇති බවට ඇය හදුනා නොගත්තාය.

තම ස්වාමි පුරුෂයා ඊයේ (10) රාත්‍රී11.00 ට පමණ දියණියට දුරකථනයෙන් කථා කළ බවත්, මිතුරන් කීප දෙනෙකු සමග ගමනක් යන බව පමණක් ඔහු පවසා ඇතැයිද ඇය පොලීසිය හමුවේ පවසා ඇත.

ගිනි ගෙන ඇති වාහනය පදවා ඇති කපිල යන අය කල්බදු ක්‍රමයට වාහන ලබා ගෙන හිග වාරික ඇති වාහන අත්පත් කර ගන්නා කණ්ඩායමක ප්‍රධානියෙකු ලෙස කටයුතු බවද ඔහුගේ බිරිද පොලීසිය හමුවේ පවසා ඇත.

මේ අතර 10 වැනිදා රාත්‍රීයේ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද අතුරුදහන්වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය කියයි. මිතුරෙකු යැයි පැවසූ අයෙකු පැමිණ තම සැමියාව කැදවාගෙන ගිය බවත් එතැන් සිට ඔහු අතුරුදහන්වී ඇති බවත් එම අයගේ බිරිද විසින් දිවුලපිටිය පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.

පිළිස්සී තිබූ වෑන් රථය ආසන්නයේ තිබී ලේ පැල්ලම් කීපයක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇත. ඒ අනුව කාර්මික දෝෂයක් හේතුවෙන් වෑන් රථය ගිනි ගෙන විනාශ වී නොමැති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි. වෙනත් ස්ථානයක ඝාතනය කරන ලද අයවළුන්ව මෙම ස්ථානයට ගෙනවිත් වෑන් රථය තුළට දමා ගිනි තබන්නට ඇති බවට විශ්වාස කරන බවද පොලීසිය සදහන් කරයි. ඇතැම් විට මෙම සිද්ධිය පාතාල කල්ලි දෙකක ගැටුමක විය හැකි බවද විමර්ශණ කරන නිලධාරීන්ගේ මතය වී ඇත. මිය ගොස් ඇති අයව නිශ්චිතවම මෙතෙක් හදුනා ගෙන නැත.

පුත්තලම නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරී චන්දන අතුකෝරල යන මහත්වරුන් මළ සිරුර තිබූ ස්ථානයට පැමිණ විමර්ශණ කටයුතු සිදු කරන ලදි.

පිළිස්සී මිය ගොස් ඇති අයගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කරන ලදි.

රහස් පොලීසිය සහ දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කර ගෙන යයි.     

පුත්තලම - ජුඩ් සමන්ත.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 March 2016 12:31