May 17, 2024

සීගිරියේ තරුණයින් 04ක් අත්අඩංගුවට - නොසන්සුන් වූ ගම්වාසීන් දිවි නසාගන්නවලු (PHOTOS)

සීගිරිය අවට මහාපරිමාණ හෝටල්, වැසිකිලි හා විවිධ ඉදිකිරීම් සිදු කරද්දී සිගිරි පදිංචිකරුවන් සීගිරියට දුරින් නිවාස ඉදිකළැයි කියන චෝදනා මත තරුණයන් 04 දෙනෙක් පුරාවිද්‍යා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කර තිබේ.

එම සිද්ධියත් සමග සීගිරියේ පදිංචිකරුවන් නොසන්සුන්තාවයකට පත් ව ඇති අතර ඔවුන්ට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අසාධාරණයක් සිදු වී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

මහාපරිමාණ හෝටල් සමාගම් දේශපාලනය කරන පිරිස් හා තවත් බොහෝ පිරිස් සීගිරිය ආසන්නයේ ස්ථිර ගොඩනැගිලි ඉදිකරන බවත් තව දුරටත් ඉදිකරමින් සිටින බවත් එහෙත් සීගිරියේ පරම්පරා ගණනාවක් පැවත එන සින්නක්කර ඔප්පු සහිත පදිංචි නිවාස ආසන්නයේ නිවාස ඉදිකරන ජනතාව අත්අඩංගුවට ගන්නා බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

නිවාස සම්පූර්ණයෙන් ඉදිකරන තුරු බලා සිට අඩුම තරමේ ඉදිකිරීම් නවතා දමන ලෙස හෝ දෙනුම් නොදී ප්‍රකාශයක් ලබා ගැනීමට බව පවසා පොලීසියට කැඳවා පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

ප්‍රදේශවාසීන්ගේ මෙම ගැටලුව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර මහතා එම ප්‍රදේශයට පැමිණ ජනතාව හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරු ව සීගිරිය ආසන්නයේ ඉදිකරන හා ඉදිකිරීම් කරගෙන යන ස්ථාන ද නිරීක්ෂණය කර තිබේ.

මෙම ප්‍රශ්නයත් සමග තමන්ට සාධාරණයක් ඉටු නොකළහොත් සීගිරි ගලෙන් පැන දිවි නසා ගන්නා බව ජනතාව අවධාරණය කරයි.

සීගිරිය පුරාවිද්‍යා කාර්යාලයෙන් විමසීමට ගිය ද එහි නිලධාරිනියක උසස් නිලධාරියකුට දුරකතනයෙන් කතා කර නැවත දැනුම් දුන්නේ කිසිවක් ප්‍රකාශ නොකර සිටින බවට තමන්ට උපදෙස් ලැබුනු බව අප වාර්තාකරු පවසයි.

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස 

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 March 2016 13:47