May 16, 2024

උපවාසයේ නිරත සිරකරුවන්ට රෙජිනෝල්ඩ්ගෙන් සහනයක්  

දින 15 ක් පුරා ආහාර හා ඖෂධ වර්ජනය කරමින් මැගසින් බන්ධනාගාරය තුළ උපවාසයක නිරත දෙමළ දේශපාලන සිරකරුවන්ගෙන් යම් පිරිසකට අද (09) සහනයක් ලැබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත මැගසින් බන්ධනාගාරයට ගොස් උපවාසයේ නිරත දෙමළ දේශපාලන සිරකරුවන්ගේ තත්ත්වය විමසා බලා නැවත යමින් සිටිය දී මාධ්‍යට අදහස් දක්වමිනි.

චෝදනා ඉදිරිපත් කළ හැකි සැකකරුවන්ට අද (09) චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව පැවසූ ආණ්ඩුකාරවරයා උපවාසයේ නිරත සිරකරුවන්ගේ තත්ත්වය ජනාධිපතිවරයාට දැන්වීමෙන් අනතුරු ව නීතිපතිවරයා සමග සාකච්ඡා කර ඔවුන් වෙනුවෙන් යම් සහනයක් ලබා දීමට පියවර ගෙන ඇති බව ද ඔහු කියා සිටී.

ඒ පිළිබඳ වැඩිදුර අදහස් දක්වන ආණ්ඩුකාරවරයා "උපවාසයේ නිරතවූවන් ප්‍රධාන චෝදනා කිහිපයක් එල්ල කරනවා. පළමු වැන්න තමයි ඔවුන්ට චෝදනා එල්ල නොකර සිරගත කර තැබීම. දෙවැන්න තමයි ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය වෙලා ගෙදර ගිය අය නැවත අත්අඩංගුවට ගෙන සිරගත කිරීම. ඒ වගේම විදෙස්ගත වෙලා ලංකාවට පැමිණි අවස්ථාවේ ආණ්ඩු පෙරලීමත් සමග චෝදනා නැතිව සැක සහිතව අත්අඩංගුවට ගෙන සිරගත කිරීම යන කාරනාවන්" යනුවෙන් සඳහන් කළේ ය.

දින 15 ක් තිස්සේ ආහාර වර්ජනයේ සිටින උපවාසකරුවන් ජලය පමණක් ගන්නා බවත් තමන් යනවිට ඔවුන් සිය පැදුරුවල බිම වැතිරී සිටි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(1 Vote)