May 03, 2024

වකුගඩු දන් දී නව වැඩසටහන ඇරඹූ වෛද්‍ය පාලිත මහීපාල

''සුරකින්නර තව වටිනා ජීවිතයක්, කැමැත්ත දෙමු දන් දෙන්නට වකුගඩුවක්'' යන තේමාව යටතේ ජීවිතයක් බේරාගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමේ නව ජාතික ප්‍රතිපත්තිය හදුන්වාදෙමින්, ඒ සඳහා වන කාඩ් පත හඳුන්වාදීම ඊයේ (08) සිදු කෙරිණි.

මාර්තු 10 දිනට යෙදෙන ලෝක වකුගඩු දිනයට සමගාමීව මෙම හදුන්වාදීම සිදුවිය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී නව කාඩ්පත හඳුන්වාදුන් අතර ඒ සඳහා සිය කැමැත්ත ප්‍රථමව පළ කරමින් වකුගඩු පරිත්‍යාගයට වෛද්‍ය පාලිත මහීපාල මහතා ද එක්වීම විශේෂත්වයකි.

මෙහි ඇති සුවිශේෂිත්වය නම් කිසියම් අනතුරකින් මොළය මියගිය තැනැත්තන්ගෙන් වකුගඩු ලබාගැනීමේ ක්‍රමවේදයයි. ඒ සඳහා ඕනෑම පුද්ගලයකුට කැමැත්ත පළ කරමින් මේ පරිත්‍යාගයට දායකවිය හැකිය. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ක්‍රියාත්මක ජාතික වැඩසටහනකි. 

වකුගඩු රෝගය රටතුළ බරපතල තත්ත්වයක් මතුකර තිබෙන අතර වසරකට වකුගඩු රෝගීන් 5000ක් පමණ අලුතින් එක්වන බව වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

වකුගඩු රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධය යන ප්‍රධාන ක්‍රම ප්‍රතිකාර සඳහා සිදු කෙරෙන බවත් වකුගඩු බද්ධ කිරීම සාර්ථක වුවත් වකුගඩු සොයාගැනීමේ දී විවිධ ගැටළු තිබෙන බැවින් මෙම ක්‍රමය ඔස්සේ රෝගීන්ට අවශ්‍ය වකුගඩු ලබාගැනීමට බලාපොරොත්තුවන බවත් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

මේ අවස්ථාවට වකුගඩු රෝගය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල, ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා යන මහත්වරු ඇතුළු විශේෂඥ වෛද්‍යවරු රැසක් සහභගී වූහ.

Rate this item
(0 votes)