May 02, 2024

ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමේ ඡන්ද විමසීම අද

පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (09) ඡන්දය සඳහා ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.

ජනවාරි 9 වැනි දා මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පෙබරවාරි මස 23 දා සහ 24 දා එය විවාදයට ගත්තද ඡන්ද විමසීමක් සිදුකළේ නැත. ඊට හේතුවූයේ ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ ඉල්ලීම මත 23 දා රැස්වූ ඇමති මණ්ඩලය ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 24 දා පස්වරුවේ නොපැවැත්වීමට තීරණය කිරීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ යෝජනාව සඳහා ඉදිරිපත් කළ සංශෝධන එක්සත් ජාතික පක්ෂය පිළිගෙන ඇත.

යහපාලන ආණ්ඩුව එකතු වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම යෝජනාවට පක්ෂව ඡන්දය දීමට තීරණය කර තිබේ. එසේ වුවද ඒකාබද්ධ විපක්ෂය යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට තීරණය කර ඇත.

දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ. අගමැතිවරයා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව සංශෝධන රැසකට ලක්ව ඇති නිසා එය අධ්‍යයනය කර ඡන්දය පිළිබඳ තීරණයක් ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු යොදා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල යෝජනාව අද පාර්ලිමේන්තුවේදී යම් කාලයක් විවාද කර ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සහ නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමට යෝජනා කර තිබේ. මෙහිදී පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා මණ්ඩලය බවට පත්වී ව්‍යවස්ථාවක් සකස් කිරීමට සාකච්ඡා කිරීමට නියමිතය.

 

 

Rate this item
(0 votes)