May 08, 2024

නිදහස් පක්ෂ කාන්තා බලය රැකගන්න මෛත්‍රී - මහින්ද පාර්ශව මෙහෙයුම් අරඹයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කාන්තා නියෝජිතයන් අද (08) කොළඹට කැඳවීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ මහින්ද රජපක්ෂ මහතාගේ පාර්ශ්ව වෙන වෙනම මෙහෙයුම් දියත් කර ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධාන ශක්තිය වැඩි කරගැනීම සඳහා රටපුරා කාන්තාවන් 500 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට අද (08) කැඳවා ඇත.  

මීට අමතරව වර්තමාන අණ්ඩුව නිසා කාන්තාවන්ට සිදුව තිබෙන හිරිහැර බාධා කිරීම්වලින් මුදවාදෙන ලෙසට පොල් ගැසීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයට වඩා ඒකාබද්ධ විපක්ෂයට සිටින කාන්තා ශක්තිය පෙන්වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් පළාත් පාලන ආයතන සන්ධානය කාන්තාවන් 15,000ක් අද කොළඹට කැඳවා තිබේ.

ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන වැඩමුළුවට කාන්තාවන් සහභාගි කරගැනීම සඳහා ආසන සංවිධායකවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිලධාරීන් පසුගිය දින කිහිපය පුරාම කාන්තා නියෝජිතයන්ට සමුළුවට කාන්තාවන් සහභාගි කරවන ලෙසට දුරකථන මගින් දැනුවත් කිරීම් කර ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන සන්ධානයේ වැඩසටහනට කාන්තාවන් සහභාගි කරගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පළාත් පාලන ආයතන නියෝජිතයන් සෘජුවම ගම්වලට ගොස් කාන්තාවන් දැනුවත් කර තිබෙන අතර, පොල් ගැසීමේ පූජාවට සහභාගී වන සියලු දෙනා බස් රථ මගින් කොළඹට කැඳවාගෙන ඒමටද සැලසුම් කර තිබේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන වැඩමුළුව පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

කොළඹ නවගමුව දේවාලයේ පැවැත්වෙන පොල් ගැසීමේ පූජාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොදු විපක්ෂයේ මහජන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

නවගමුව දේවාලයේ පැවැත්වෙන පොල් ගැසීමේ පූජාව උදෑසන 8.00 ට පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ වැඩමුළුව උදෑසන 10.00 ට ආරම්භ වේ. 

 

Rate this item
(0 votes)