May 05, 2024

කුඩා ජලවිදුලි බලාගාර බලපත්‍ර අහෝසි වෙයි!

මේ වනවිට කුඩා ජලවිදුලි බලාගාර වලින් මෙගාවොට් 300 ක් පමණ දායකත්වයක් ජාතික විදුලිබල පද්ධතියට ලබාගන්නා බවත් වසර 2 කට වඩා කාලයක් අක‍්‍රීය තත්ත්වයේ පවතින කුඩා ජල විදුලි බලාගාරවල බලපත‍්‍ර වහාම අහෝසි කරන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

කුඩා ජලවිදුලි බලාගාරවල බලපත‍්‍ර පිළිබඳව ගැටලුවක් තිබෙන බවත් සමහර බලපත‍්‍ර හිමියන් එම බලපත‍්‍ර අතින් අතට යවමින් අලෙවි කිරීමේ යටි වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

මින් සිදුවන්නේ විදුලිය නිපදවීම ප‍්‍රමාදවීමක් සිදු වන අතර මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර එම තත්ත්වය ඉවත් කිරීම සඳහා චක‍්‍රලේඛයක් නිකුත් කළ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා එමගින් වසර 02 කට වඩා පැරණි, වැඩ ආරම්භ කරනැති කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපෘති සඳහා නිකුත්කර ඇති බලපත‍්‍ර වහාම අහෝසි කිරීම සිදු වන බව ද සඳහන් කළේය. 

අනතුරුව එම බලපත‍්‍රලාභීන්ට එසේ ව්‍යාපෘති මෙතෙක් ආරම්භ නොකිරීමට සාධාරණ හේතුන් ඇත්නම් අභියාචනය කිරීමට කාලසීමාවක් ලබා දීම සිදුවේ. එසේ නැත්නම් විවෘත මිල ගණන් කැඳවීමෙන් එම බලපත‍්‍ර සාධාරණ ආකාරයෙන් අලුත් පිරිසකට කරගෙන යාමට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා  පැවසීය. 

ඒ මහතා මේ බව පැවසූවේ පසුගිය දා මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති "රටම එළියයි - අඳුර දුරලයි" වැඩසටහනේ මහනුවර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.

Rate this item
(1 Vote)