May 05, 2024

වෛද්‍යවරු ගැන රජයෙන් දීප ව්‍යාප්ත සමීක්ෂණයක්

රජයේ සහ පළාත් සභා රෝහල්වල සහ අනෙකුත් සෞඛ්‍ය ආයතනවල සේවය කරන වෛද්‍යවරුන් පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ සැළසුම් අංශයේ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විනි. 

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරන වෛද්‍ය නිලධාරීන් සහ දන්ත වෛද්‍ය නිලධාරීන් සදහා ඉලෙක්ට්‍රොනික තොරතුරු කළමණාකරණ පද්ධතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දැනට ක‍්‍රියාත්මක කරනු ලබයි. මෙම වෛද්‍ය නිලධාරීන් සදහා යාවත්කාලීන, කාර්යක්ෂම, ඵලදායි අංග සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික තොරතුරු පද්ධතියක් පවත්වා ගැනීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සේවා දත්ත සැපයුම් ඒකකය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා එක්ව දීප ව්‍යාප්තව සමීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

මානව සම්පත් සමානුපාතිකව බෙදාහැරිම සදහා ද මෙම තොරතුරු පද්ධතිය ඉතා වැදගත් වේ. මෙවැනි සමීක්ෂණයක් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ කරුනු ලබන්නේ ප‍්‍රථම වතාවටය. එමෙන්ම නීත්‍යානුකූල පත්වී නොමැති වෛද්‍යවරු මෙමගින් හදුනාගත හැකිය. 

වෛද්‍ය සහ දන්ත වෛද්‍ය නිලධාරී තොරතුරු පිළිබඳ ජාතික සමීක්ෂණ දිනය ලෙස ලබන 24 වැනිදා ප‍්‍රකාශයට පත් කර ඇත. මෙම දිනයට සමගාමීව වෛද්‍ය නිලධාරීන් සහ දන්ත වෛද්‍ය නිලධාරීන් දැනුවත් කර එම නිලධාරීන් සේවය කරන ආයතන ප‍්‍රධානීන් මගින් අවශ්‍ය නව තොරතුරු පරිගණක ගත කිරීම 2016.03.10 සිට 2016.03.24 දක්වා කාලය තුළ දිවයින පුරා මෙම සංගණන වැඩසටහන යටතේ සිදු කරනු ලබයි. සියළුම වෛද්‍ය නිලධාරීන් සහ දන්ත වෛද්‍ය නිලධාරීන් (www.hrmis.health.gov.lk) අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිස, දැනට පරිගණක ගත කර ඇති තම තොරතුරු පරීක්ෂා කර තම තොරතුරු තම ප‍්‍රධානියා මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) වෙත යොමු කිරීමට කටයුතු කළ යුතුය. 

මෙය දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවයේ යෙදෙන වෛද්‍ය නිලධාරීන්, දන්ත වෛද්‍ය නිලධාරීන්, පශ්චාත් උපාධි පුහුණූ නිලධාරීන් සහ සියළුම විදේශ හෝ දේශීය නිවාඩු ලබා ඇති වෛද්‍ය නිලධාරීන් සදහා අදාළ වේ.

Rate this item
(0 votes)