April 27, 2024

පළාත් පාලන මැතිවරණ කොට්ඨාස 2000ක් ගැටලු සහගතයි

පළාත් පාලන මැතිවරණය සඳහා සිදුකළ කොට්ඨාස නිර්ණ වාර්තාවේ කොට්ඨාස 4833 න් 2000කම සීමා නිර්ණ සිදුකර ඇත්තේ ගැටලුකාරීව බවත් එය නිසියාකාරව සකසාගන්නා තුරු පළාත් පාලන ඡන්දය පමාවන බවත් පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කරයි. 

එසේම වසර 03 ක් ගතකරමින් සැකසූ එම වාර්තාව කොළඹ සීතල පුටුවල ඉඳගෙන නිලධාරීන් සැකසූ වාර්තාවක් බවත් එම කොට්ඨාස 2000 තුළ දී ඡන්ද දායකයන්ට තම කොට්ඨාසයේ මන්ත්‍රීවරයා අහිමි ව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (03) පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවක දී ය. එමෙන්ම සීමා නිර්ණ කටයුතු දිස්ත්‍රික්ක 06 ක පමණක් සිදු කිරීමට වසර 03 ක් ගත ව ඇති බවත් අනෙකුත් දිස්ත්‍රික්ක 19 තුළ සීමා නිර්ණ කටයුතු නිසි පරිදි අවසන් කරන තෙක් පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේ ය. 

එහිදී අදහස් පළකළ අමාත්‍ය මුස්තාපා මහතා. “සීමා නිර්ණ වාර්තාවේ අඩුපාඩු හරයාත්මකව සහ දත්ත ආශ්‍රිත ව ජනතාවට දැනුවත් කිරීමට අපට සිදු වෙනවා. නිර්ණායක අනුව නොවෙයි කොට්ඨාස නම් කරලා තිබෙන්නේ. විශේෂයෙන් පනතේ සඳහන් පරිදි කොට්ඨාස බෙදීමේ දී ජනවාර්ගික ජනගහන අනුපාතය සහ ඒ මත පදනම්ව නියෝජනයක් ලබාදීම, ප්‍රදේශයේ ජන ඝනත්වය, භූගෝලීය කරුණු සහ භූගෝලීය සාධක, ආර්ථික සංවර්ධන මට්ටම් සලකලා තමයි කොට්ඨාස බෙදීම සිදුවිය යුත්තේ.

හැබැයි මේක මෙම කරුණු මත පදනම්ව සිදු වී නොමැති නිසයි පළාත් පාලන මැතිවරණය කල් යන්නේ. මෙය දේශපාලනික කෝණයකින් බලන්න එපා. අශෝක පිරිස් මහත්මයා මාස 03කින් ඉතිරි දිස්ත්‍රික්ක 19 තුළ කොට්ඨාස නිර්ණය කර අවසන් වාර්තාවක් ලබාදීමට පොරොන්දු වුණා. මට හෙට වුණත් නිසි පරිදි කොට්ඨාස නිර්ණය කර වාර්තාවක් ලබාදුන්නොත් පළාත් පාලන මැතිවරණය  වහාම පැවැත්වීමට කටයුතු කරනවා" යනුවෙන් සඳහන් කළේ ය.

බුද්ධි මාධව 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 March 2016 00:17