May 03, 2024

බිග් මැච් රථ පෙලපාලියේ ජීප් රථයක් පෙරළෙයි - සිසුන් 6ක් රෝහලේ

කොළඹ ප‍්‍රසිද්ධ පාසල් දෙකක වාර්ෂික පාසල් ක්‍රිකට් තරගයට සහාය දක්වමින් ගමන් ගත් රථ පෙලපාලියක ගමන්ගත් ජීප් රථයක් පෙරළීමෙන් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය පවසයි.

කුරුඳුවත්ත පුස්තකාල වටරවුමේදී අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇති බවත් අනතුර සිදුවන විට ජීප් රථයේ ශිෂ්‍යයන් 13 දෙනෙකු ගමන් කර තිබෙන බවත් පොලීසිය සඳහන් කරයි.

කොළඹ ආනන්ද හා නාලන්ද විද්‍යාලයන්හි වාර්ෂික ක්‍රිකට් තරගයට සහාය දක්වමින් එම විදුහල් දෙකෙහි සිසුන් හා ආදි සිසුන් වාහනවල නැගී පාසල් කොඩි රැගෙන කොළඹ පාරේ ගමන් කිරීම නිසා කොළඹ ප්‍රධාන පාරවල් රැසකම වාහන තදබදයක් ඇති වී තිබිණි.

හෝර්ටන් පෙදෙස නෙළුම් පොකුණ අසල පාරත්, මහජන පුස්තකාලය අසල පාරත්, ඇස් වාට්ටුවේ සිට නිදහස් චතුරශ්‍රය දෙසට යන මාර්ග වල රථ වාහන තදබදයක් ඇති වී ඇත.

හෝර්ටන් පෙදෙසේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය ළඟ සිට නෙළුම් පොකුණ අසලට පැමිණීමට වාහනවලට පැයකට වඩා ගත විය.

විදුහල් දෙකෙහි සිසුන් පාරේ හා වාහනවල යමින් අනෙකුත් මගීන්ට හා රථවාහනවලට බාධාවන පරිදි හැසිරෙන ආකාරය දැකිය හැකි විය.

Rate this item
(0 votes)