May 03, 2024

හිතවත් සිසුවියන්ට තනතුරු දෙන්නට ගිය ශ්‍රීපාලියේ අංශාධිපතිට වැඩ වරදියි

සිසුන්ගේ විභාග කටයුතුවලදී පෞද්ගලික හේතු මත කටයුතු කිරීම, කථිකාචාර්යවරියන්ට අනිසි බලපෑම් කිරීම, පරිපාලන අක්‍රමිකතා හා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සාමාජිකයන්ට බලපෑම් කිරීම යන චෝදනා එල්ල කරමින් කර ඇති පැමිණිලි ගැන පරීක්ෂණ අවසන් වනතෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය ප්‍රදීප් එන්.වීරසිංහ මහතා ඔහුගේ තනතුරේ වැඩකටයුතුවලින් තාවකාලිකව ඉවත් කර ඇති බව වාර්තා වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා අංශාධිපතිවරයා ඉවත් කරමින් ශ්‍රී පාලි මණ්ඩපයට යැවූ ලිපිය තමාට ලැබුණු බව මණ්ඩපාධිපති ආචාර්ය රංජන් හෙට්ටිආරච්චි මහතා පවසයි.

ශ්‍රී පාලි මණ්ඩපයේ 2009/2010 ශිෂ්‍ය කණ්ඩායමේ ශිෂ්‍යයකුගේ විභාග කටයුතුවලදී නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීම හෝ ද්වේෂ සහගත ලෙස අසමත් කිරීම යන චෝදනා එල්ල කරමින් එම සිසුවා උපකුලපතිට පෙත්සමකින් ද කරුණු දක්වා ඇති අතර සුදුසුකම් නොමැති සිය හිතවත් සිසුවියන් දෙදෙනකුට කථිකාචාර්ය තනතුරු දීමට උත්සාහ කර ඇති බවට ද ආචාර්ය වීරසිංහ මහතාට එරෙහි පැමිණිලිවල දැක්වෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ කමිටුවක් ද පත්කර ඇති බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)