April 29, 2024

මාධ්‍ය හමුවේදී තරුණසේවා සභාවේ සභාපතිට කේන්ති යයි

සීගිරිය ගුවන් හමුදා කඳවුරේ පැවැත්වෙන 'යොවුන් පුරය' තරුණ වැඩසටහන සඳහා රුපියල් මිලියන 100ත් 150ත් අතර මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇතැයි ජාතික තරුණ සේවා සභාව පවසයි.

මේ කරුණු අනාවරණය වූයේ ඊයේ (03) සීගිරිය ගුවන් හමුදා කඳවුරේදී මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා තරුණ තරුණියන් 5000කගේ පැමිණීමෙන් පැවැත්වීමට නියමිත 'යොවුන් පුරය' තරුණ වැඩසටහන පිලිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවේදී ය.

එම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන පෙරේරා මහතා සහ තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංග මහතා ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

මෙහිදී මාධ්‍යවේදීන් ඇමතිවරයාගෙන් විමසා සිටියේ ව්‍යාපෘතිය සඳහා ඉතාම සීමිත දින ගණනක් පවතින නිසා විදේශ රට වලින් කොපමණ පිරිසක් පැමිණෙනවා ද එම රටවල් මොනවා ද යන්න දැනගැනීමට අවැසි බවය. ඊට පිළිතුරු දුන් ඇමතිවරයා කියාසිටියේ තවම එය සැලසුම් කරගෙන යන බවයි.

මාධ්‍යවේදීන් ව්‍යාපෘතියට වැයවන මුදල් පිළිබඳව ද විමසීමක් කළ අතර ඊට අමාත්‍යවරයා කියාසිටියේ ඒ සඳහා තවමත් නිශ්චිත දින ගණනක් නොමැති බවය.

එම පිළිතුරු දීමට එක්වූ තරුණසේවා සභාවේ සභාපතිවරයා අමාත්‍යවරයාගේ කනටකර කියාසිටියේ එයට රුපියල් මිලියන 100ත් 150ත්  අතර මුදලක් වැයවන බවයි.

යොවුන් පුරය භුමිය ඉදිකිරීම වෙනුවෙන් හා ඒ අවට මාර්ග සකස් කිරීම වෙනුවෙන් යන්ත්‍ර සුත්‍ර දමා බොරළු කපන බවත් ඒ සඳහා නිත්‍යානුකුලව අවසරය ලබා තිබේ ද යන්න පිළිබඳව යළි මාධ්‍යවේදීන් විමසීමේදී ඇමතිවරයා කෝපයට පත්ව කියාසිටියේ ප්‍රශ්ණ අසනවාසේම පිළිතුරු දීමට ද අයිතියක් ඇති බවත් මාතලේ සංවර්ධන කමිටුවේ අවසරය බොරළු කැපීමට ලැබුණු බවත් ඒ අනුව ආයතන නිලධාරින්ට අවශ්‍යය තීන්දු තීරණ ගැනීමට හැකි බවත් ය.

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල

Rate this item
(0 votes)
Last modified on Friday, 04 March 2016 13:10