April 28, 2024

අනතුර ගැන කිසිවක් සඟවා නෑ - අධිවේගී යතුරුපැදිවලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න - චම්පික (VIDEO)

ජීප් රථය හා යතුරු පැදි අනතුර ගැන කිසිවක් සඟවා නොමැති බවත්  මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් මාධ්‍ය වෙත පළකර සිටියේ අද (03) කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අමාත්‍යාංශ රැස්වීමක් අවසානයේදීය.

බාල වයස් දරුවන් අධිවේගී යතුරුපැදි රැගෙන ප‍්‍රධාන මහා මාර්ගවල නරක පුරුදුවල යෙදෙන බවත් මේ පිළිබදව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“පසුගිය ඉරිදා අප අමාත්‍යාංශයට අයත් ජීප් රථයක්, අප අමාත්‍යාංශයට අනුයුක්ත වෙලා ඉන්න රියදුරු මහත්මයෙක් රාත‍්‍රී කාලයේ පදවාගෙන යන අවස්ථාවේ සිදුවෙච්ච අනතුරක් පිළිබදව ඉතාම විකෘති තොරතුරු ජනමාධ්‍යවලින් පලකරමින් ඉන්නවා. සිද්ධිය ගත්තොත් අපි කවුරුත් දන්නවා පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලාවේ පැවැත්වුණු මෝටර් රථ ප‍්‍රදර්ශනය. එය අවසානයේ තරුණ කණ්ඩායමක් මේ පාර්ලිමේන්තු පාරේ ඔවුන්ට අයත් යතුරුපැදි ධාවනය කර තිබෙනවා. මේ අනතුරට ලක්වෙච්ච යතුරුපැදියෙ සිලින්ඩර ධාරිතාවය 1000ක්. ඒ යතුරුපැදිය මාවත්වල ධාවනය කරන්න අවසර නැහැ. කෙසේ වෙතත් එදා දස දෙනෙක්ට අධික පිරිසක් සහ යතුරුපැදි ඉතා අධික වේගයෙන් එහාට මෙහාට ධාවනය කරලා තියෙනවා. ඒ ගැන පොලීසිය හොදටම දන්නවා. ඒ යතුරුපැදිකරුවන් තරුණ ළමයි. ඒ අය තමයි මේ අපේ වාහනයේ පිටිපස්සේ ගට්ටලා මේ අනතුර සිද්ධ වුනේ. අපි මේ පිළිබද සියළුම පරීක්ෂණ කිරීමේ බලය පොලීසියට ලබා දීලා තිබෙනවා. කිසිවක් සගවලා නෑ. “

“අපි හිතනවා පොලීසිය ඒ පිළිබදව විධිමත් පරීක්ෂණයක් කරයි කියලා. ඒ වගේම මෙවැනි මෝටර් සයිකල් කණ්ඩායම්, ඒ වගේම බාල වයස් දරුවන්, අධිවේගී යතුරුපැදි අරගෙන ප‍්‍රධාන මහා මාර්ගවල මේ වගේ නරක පුරුදුවල යෙදෙනවා පසුගිය වසර කිහිපය තුළම අපි දැක්කා. ඒවා නතර වෙලා තිබුණේ. දැන් ආයෙත් යහපාලනය යටතේත් ආරම්භ වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ පිළිබදව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන්න කියලා අපි කියනවා. අපි කිසිම දෙයක් සගවලා නෑ. අපි වාහනය, රියදුරු ඇතුළු ඒ සියලූ දේ භාර දීලා තිබෙනවා. ඒ වගේම ඒ වරදකරුවෝ කවුද කියන එක සම්බන්ධයෙන් උසාවියේ නඩුවක් තිබෙනවා. පත්තරවල දේශපාලන අවලාද, මාධ්‍යවල දේශපාලන අවලාද කරන්නේ නැතිව  ඕනේ කෙනෙකුට උසාවියට ඉදිරිපත් වෙලා කටයුතු කරන්න පුළුවන්.“ යැයිද හෙතෙම අවධාරණය කළේය.

“අපි පොලීසියේ කටයුතුවලටත්, උසාවියේ කටයුතුවලටත් නීතිගරුක පුරවැසියෝ විදිහට සහය දෙනවා. මම දෙමාපියන්ගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා තමන්ගේ දරුවන් ගැන සැලකිලිමත් වෙන්න. අධිවේගී යතුරුපැදිවල ගමන් කිරීමේදී සිදුවන අනතුරු වළක්වාගන්න කටයුතු කරන්න. පසුගියදා පිළියන්දල ප‍්‍රදේශයේදීත් මෙවැනි අනතුරක් සිදුවුණා. මේවා වැළැක්වීම සදහා දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන්න කියලත් මම ඉල්ලා සිටිනවා.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 March 2016 17:55