May 18, 2024

රුවන් එපා ප්‍රසන්න ඕන - මෛත්‍රීගේ පත් කිරීමට ගම්පහ විරෝධය 

මිනුවන්ගොඩ ආසන සංවිධායකවරයා ලෙස පත්කර ඇති රුවන් රණතුංග මහතා පිළිනොගන්නා බව එම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩලය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ක නියෝජිතයෝ අද(01) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කළහ.

මිනුවන්ගොඩ නව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකවරයා සමග කටයුතු කිරීමට සූදානම් නැති බවත්, තවදුරටත් මිනුවන්ගොඩ සංවිධායකවරයා ලෙස තමන් පිළිගන්නේ ප‍්‍රසන්න රණතුංග මහතා බවත් එම මන්ත්‍රීවරු පැවසූහ.

මිනුවන්ගොඩ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

එම ආසනයේ හිටපු සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා යළි පත්කරන්නැයි ඔවුහු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියහ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  නව දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ ආසන සංවිධායකවරුන් 26 දෙනෙකුට ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපි ලබා දුන්නේය.

මෙම පිරිස අතර රුවන් රණතුංග මහතාට මිනුවන්ගොඩ සංවිධායක ධුරයද, එස්.බී. දිසානායක මහතාට හේවාහැට සංවිධායක ධුරයද, මහින්ද සමරසිංහ මහතාට පානදුර ආසන සංවිධායක ධූරයද, ඉසුර දේවප්‍රිය මහතාට මහරගම ආසන සංවිධායක ධුරයද, රංජිත් සොමවංශ මහතාට අගලවත්ත ආසන සංවිධායකධූරයද, සුමිත් ලාල් මෙන්ඩිස් මහතාට කලුතර සම සංවිධායක ධුරයද මෙහිදි පිරිනැමිණි.

 

 

Rate this item
(0 votes)