May 21, 2024

වීරකැටියේ වෙඩි තැබීමෙන් අයෙක්‌ මරුට - පාතාල ගැටුමක පළිගැනීමක්? 

February 29, 2016

වීරකැටියේ නයිගල ප්‍රදේශයේ දී වැන් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට ඊයේ (28) පෙරවරු 10. 30 පමණ සිදුවූ වෙඩි තැබීමකින්  තිදෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් තිබේ. 

හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති අතර  සිද්ධියෙන් තුවාල ලැබූවන් තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු සාගර ප්‍රියන්ත නැමැති වයස 36 ක පමණ බෙලිඅත්ත, බෙලිදෙණිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

වෙඩි තැබීමට ලක්ව ඇති පුද්ගලයින් අතර මිනිස් ඝාතනයට සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි පුද්ගලයෙක් වන අතර ඔහු අධිකරණ නියෝගයක්මත සෑම ඉරුදිනකම වීරකැටිය පොලිසියේ අත්සන් කිරීමට නියමිත අතර ඊයේ (28)දිනයේද ඒ අයුරින් ඔහුගේ තවත් මිත්‍රයින් දෙදෙනෙකු සමග වීරකැටිය පොලිසියේ අත්සන් කොට යලි වෑන් රථයෙන් පැමිණෙමින් සිටියදී මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ.

මේ අවස්ථාවේ පාරේ ගමන්ගත් අයෙකුද වෙඩි ප්‍රහාරයට ලක්වී තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වීරකැටිය ප්‍රදේශයේ පාතාල කණ්‌ඩායම් අතර කාලයක සිට හටගෙන තිබෙන ගැටුමක ප්‍රතිඵලයක්‌ ලෙස මෙම ඝාතනය සිදුවී ඇතැයි පොලිසිය සැකකරයි.

සන්නද්ධ කණ්‌ඩායම පැමිණි මෝටර් රථය ඊයේ හුංගම ප්‍රදේශයෙන් පැහැරගත් එකක්‌ බවට විමර්ශනවලදී හෙළිවී තිබේ. 

වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව තංගල්ල පොලිස් අධිකාරි කාර්යාලයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

රාහුල් සමන්ත - හම්බන්තොට

 

Rate this item
(0 votes)