May 17, 2024

'මහේල කළේ සදාචාරමත් දෙයක් නෙවෙයි' - තිලංග  

February 27, 2016

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මෙවර ලෝක කුසලානයේ දී එංගලන්ත කණ්ඩායමට සිය සේවය ලබාදීම පිළිබඳ තමන් ඉතා කනගාටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් අනතුරු ව ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු අඩුම තරමේ වසරක කාලයක් හෝ තමා ක්‍රීඩා කළ කණ්ඩායමට සිය අත්දැකීමෙන් සේවයක් සැපයිය යුතු බව ඔහු පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ (26) ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ සභාපතිවරයා,

"යම් ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායම නියෝජනය කරලා ක්‍රීඩාවෙන් සමුගෙන මාස දෙකක කාලයක් ඇතුළත දි වෙනත් රටක් හා එකතු වෙනවා කියන්නෙ ඒක ඔහු ක්‍රීඩා කළ රටට හොඳ දෙයක් නෙමෙයි. අනිත් කාරණේ ලෝක කුසලානයක් ළඟ තියෙද්දි. අපි ඉදිරියේ දී මේ පිළිබඳ යම්කිසි පාලනයක් දැමිය යුතුයි. යම් ක්‍රීඩකයෙක් රට වෙනුවෙන් ක්‍රීඩා කරල විශ්‍රාම ගියාට පසු අවම තරමේ වසර දෙකක්වත් වෙනත් රටකට පුහුණුකරු ධුරයක් හෝ උපදෙස් සපයන්නෙකු ලෙසින් ඉදිරිපත් නොවිය යුතුයි.

ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉඳල විශ්‍රාම ගන්නකොට ඔහු කණ්ඩායමේ දුර්වල හා ප්‍රභල ස්ථාන මොනව ද කියන කාරණය දන්නවා. එම ක්‍රීඩකයාම සුළු කාලයකින් වෙනත් කණ්ඩායමක පුහුණුකරුවෙකු ලෙසින් එක් වෙද්දි කණ්ඩායමේ රහස්‍ය ලෙස රැකගත යුතු තරග සැලසුම්වලට මොකද වෙන්නේ. මේක සදාචාරමත් දෙයක් නෙමෙයි. මම හිතන්නෙ මේක ක්‍රීඩාවෙ ආචාරධර්ම පිළිබඳ ප්‍රශ්නයක්. මේක ඔහුගේ (මහේල ජයවර්ධන) පෞද්ගලික වරදක් නෙමෙයි. ඔහුගේ දැනුම සම්භාරයට මම ගොඩක් ගරු කරනවා. නමුත් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් පාලනය කිරීමක් නැත්නම් ක්‍රීඩකයෙකු ක්‍රීඩාවට විනය ගරුක වෙන්නෙත් නෑ." යැයි පැවසීය.

මහේල ජයවර්ධන මේ වනවිට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශකයෙකු ලෙස ක්‍රියා කරයි.

 

Rate this item
(1 Vote)