May 17, 2024

නොරොච්චෝලේ හදන්න දින 3ක් - යළිත් විදුලි බිඳවැටීම්?

February 27, 2016

ජාතික විදුලිබල පද්ධතියේ ඇති අසමතුලිතතාව හේතුවෙන් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන පද්ධති ද ස්‌වයංක්‍රීයව අක්‍රීය වූ නිසා එහි විදුලි ජනන කටයුතු යළි සාමාන්‍ය අතට පත්වීමට දින 03ක්‌ පමණ ගතවනු ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය 25 වැනිදා දිවයිනටම විදුලිය බිඳ වැටීමේ සිද්ධිය පිළිබඳ කරුණු දක්වමින් අමාත්‍යවරයා, එම විදුලිය බිඳ වැටීමට එදින රට තුළ හදිසියේ පැවැති ටොනේඩෝ තත්ත්වයක්‌ හා සුළං සහ අකුණු තත්ත්වයක්‌ නිසා විදුලි පද්ධතිය බිඳ වැටී යම් අසමතුලිත තත්ත්වයක්‌ ඇති වූ බව ද ඒ පිළිබඳව විධිමත්ව සොයා බැලීමට පත් කළ අභ්‍යන්තර පරීක්‍ෂණ කමිටුවේ වාර්තාව සතියක්‌ තුළ ලබා ගැනීමටත් අනෙක්‌ බාහිර කමිටුවේ වාර්තාව මසක්‌ තුළ ලබා ගැනීමටත් නියමිත බවද කියා සිටියේය. 

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් මෙගාවොට්‌ 900ක විදුලි ධාරිතාවක්‌ මේ වනවිට ජාතික විදුලි පද්ධතියට නොලැබෙන නිසා සති අන්තයේදී විදුලිය ඉතා අරපරිස්‌සමින් භාවිත කරන ලෙසට එහිදී ඇමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

විදුලි පද්ධති යථා තත්ත්වයට පත්කරන තුරු වරින්වර හදිසි විදුලි බිඳවැටීම් සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම විදුලි බිඳ වැටීමේ සිද්ධිය කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ දැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක්‌ පිළිබඳ නැඟුණ ප්‍රශ්නයකට පිළිතුරු දුන් විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කියාසිටියේ දුරදිග බලා කටයුතු කරන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක්‌ පවත්වා වාර්තාවක්‌ ලබාදෙන ලෙස උපදෙස්‌ දුන් බවයි.

Rate this item
(0 votes)