May 01, 2024

'තාජුඩීන්ගේ මරණය' ඝාතනයක් - සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

February 25, 2016

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට නියමනය කළ හැකි යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (25) ප්‍රකාශ කළේය.

මහේස්ත්‍රාත්වරයා එම නිගමනය කර ඇත්තේ තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තා 6ක් සැලකිල්ලට ගනිමිනි.

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළව සිදුකෙරෙන පරීක්ෂණ වලදී සොයාගත් සී.සී.ටී.වී දර්ශන විදේශ රටකට යවා පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධව  රජයේ නීතීඥවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ රජයේ නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ සී.සී.ටී.වී දර්ශන විදෙස් රටවලට යවා පරීක්ෂණ සිදුකිරීමේදී ප්‍රමාදයක් සිදුව ඇති බවට මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වී ඇති බවයි.

එම වාර්තා අසත්‍ය බව සඳහන් කළ රජයේ නීතීඥවරයා අදාළ දර්ශන විදෙස් රටවලට යැවීමේ කටයුතු විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජාත්‍යන්තර පොලීසිය හරහා සිදුකළ යුතු බැවින් ඒ සඳහා යම් කිසි කාලයක් ගත විය හැකි බව සඳහන් කළේය.

අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් රජයේ නීතීඥවරයා පැවසුවේ වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළව තවදුරටත් විමර්ශන සිදුකෙරෙන අතර සාක්ෂිකරුවෙන් 16 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති බවයි. 

සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

එම ඝාතනය පිළිබඳ දුරකතන පරීක්ෂණ අවසන් අදියරේ පවතින බවත් අස්ථි කොටස් නැතිවීම ගැන පරීක්ෂණ අවසන් අදියරේ පවතින බවත් අධිකරණයට පොලීසිය කරුණු දක්වා තිබේ.

රහස් පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ මේවන විට තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් 16 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

මෙම නඩුව මාර්තු 23 වැනිදා දක්වා කල් දැමීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Rate this item
(2 votes)
Last modified on Friday, 26 February 2016 12:32