May 03, 2024

කුණු කන අලි පෙන්වා සල්ලි ගරන ජාවාරමක් (VIDEO)

වසර ගණනාවක සිට දඹුල්ල නගරයෙන් ඉවත් කරන කුණුකසල ප්‍රාදේශීය සභාව හා මහ නගර සභාව මගින් හබරණ - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ රජයේ රක්ෂිතයට ගෙනැවිත් දමන බව වාර්තා වේ.

එම ස්ථානයට ගෙනැවිත් දමන කුණු කසල ආහාරයට ගැනීමෙන් වන සතුන්ගේ ජීවිත විනාශ වී ඇත. එහි සිටි මුව රංචු හා ඌරන් මේ වනවිට දක්නට නොමැති බව ප්‍ර දේශවාසීන් සඳහන් කරයි.

එම රක්ෂිතයේ 50 ක් 60 ක් පමණ සිටි වල් අලි ගහනය මේ වනවිට 10 ක් 15 දක්වා අඩු වී තිබේ. අලින්ගේ මලපහවල පොලීතින් දැක ගන්නට ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි. 

මේ දිනවල කුණු කසල කෑමට පැමිණෙන අලි විදේශිකයන්ට මුදලට පෙන්වීම ද සිදු කෙරෙන බවත් ඉතාම අවධානම් ආකාරයට වන අලින් අසලට ඔවුන් රැගෙන ගොස් ඡායාරුප ගන්නා බවත් වාර්තා වේ. 

මෙම අලි සම්පත විනාශ කිරීම නවතා දැමීමට බලධාරීන් කටයුතු කළ යුතු බව සංචාරක කර්මාන්තයේ නියැලී සිටින පිරිස් හා ප්‍රදේශවාසින් කියා සිටී.

වන සතුන්ට අනතුරු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව රක්ෂිතයේ දැන්වීම් පුවරු සවිකර තිබුණ ද දඹුල්ල මහ නගර සභාවත් ප්‍රාදේශීය සභාවත් එළිපිටම කුණු කසල ගෙනැවිත් දැමීම හේතුවෙන් එම වනසතුන්ට ජීවිත හානියක් සිදු කරන බව දක්නට ලැබේ.

කුණු කසල බැහැර කිරීම සඳහා අලුත් වැඩපිළිවෙලක් ළඟ දී ආරම්භ කරන බව දඹුල්ල මහනගර සභාවේ නාගරික කොමසාරිස් ආත්මා ඩී. ජයරත්න මහත්මිය සඳහන් කළා ය.

කාංචන කුමාර ආරියදාස 

 

Rate this item
(0 votes)