May 02, 2024

අත්අඩංගුවට පත්වීමට සූදානම් - උඩුවේ ධම්මාලෝක හිමිගෙන් ප්‍ර‍කාශයක් (VIDEO)

තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්‌ දී ඇති බව ප්‍රසිද්ධ වීමත් සමඟ අත්අඩංගුවට පත්වීමට තමන් සූදානමින් සිටින බවත් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන්නේ නම් තමන්ට නියමිත බන්ධනාගාරය තුළ වැඩ සිටීමට හා බන්ධනාගාරයෙන් දෙවේලට ලබාදෙන ආහාර දානය ලෙස පිළිගැනීමටත් සූදානම් බවත් උඩුවේ ධම්මාලෝක හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (17) පස්‌වරුවේ ඇලන්මැතිනියාරාමයේදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.

“අපේ විහාරස්‌ථානයේ පැවැති අලි ඇතුන් සහිත පෙරහැරකට රැගෙන ආ අලි පැටවකු විහාරස්‌ථානයේ දමා ගොස්‌ තිබුණා. ඒ ගැන මම එදා වනජීවී අමාත්‍යව සිටි විජිත් විජිතමුණි සොයිසා මහතාට දැනුම් දුන්නා. එතුමා මට කීවේ අලි පැටවා එහෙම පන්සලේ හිටියාදෙන් කියලයි. මම ඌව ආදරයෙන් රැකබලා ගත්තා. මෑතකදී මේ අලි පැටියා සම්බන්ධයෙන් සී.අයි.ඩී. එක මගෙන් තෙවරක්‌ ප්‍රශ්න කළා. මම දන්න ඇත්ත කීවා. ඒ සිද්ධිය මුල්කරගෙන මාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක්‌ ගැන මාධ්‍ය මගින් මම දැන ගත්තා.“

“මම බෞද්ධ භික්‍ෂුවක්‌ ලෙස කල්පනා කරන්නේ මුගලන් රහතන් වහන්සේටත් මනිකාර කුලුපගතිස්‌ස හිමියන්ටත් කර්මපල දුන්නා වාගේ වරදක්‌ නොකළත් මට සිරගතවන්නට සිදුවෙනවා කියලයි. මම නීතිගරුක කෙනෙකු හැටියට ඒ තත්ත්වයට මුහුණ දීමට සූදානමින් ඉන්නවා“ යැයිද උඩුවේ ධම්මාලෝක හිමියෝ සඳහන් කළහ.

“මම මේ දේ උපේක්ෂාවෙන් පිළිගන්නවා. පසුගියදා පුවත්පතක සඳහන් වුණා මා අත්අඩංගුවට ගන්න නීතිපති උපෙදස් දීලා කියලා. ඒක ඇත්ත වෙන්න ඇති කියලා මම හිතුවා. ඉතින් එන දේකට මුහුණ දෙන්න මම ලෑස්තියි. මුගලන් හාමුදුරුවන්ට වුණ දේ මට මේ වෙන්නේ කියලා හිත හදාගන්නවා. කැළණිතිස්ස මහරහතන්වහන්සේට වුණ දේ වෙන්නේ කියලා මම හිත හදාගන්නවා. මගේ තරහක් වෛරයක් නෑ. මම මෑතදී කිලෝ 12ක රන් කරඬුවක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කළා. ඒ ආශිර්වාදය මට තියෙනවා.“ යැයිද ඒ හිමියෝ පැවසූහ.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 February 2016 06:07