May 22, 2024

කොටි මහවිරු දිනය සමරන්න නීත්‍යානුකූල අනුමැතිය ඉල්ලයි (VIDEO)

කොටි මහවිරුවන් අනුමත කොට යුද්ධයේදී මියගිය කොටි මහවිරුවන් සැමරීමට නීත්‍යානුකූල අනුමැතිය ලැබිය යුතු බවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබාගැනීමේ කොමිසම වෙතට යෝජනාවක් යාපනයේදී ලැබී ඇත.

යාපනය නැගෙනහිර සුලිපුරම් ගම්මානයේ ජීවත්වන කේ.වර්දරාජා නැමැත්තෙකු විසින් අදාල යෝජනාව ඊයේ (15) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබාගැනීමේ කොමිසම වෙතට ලබා දී ඇත.

එම යෝජනාවේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, ජාතියේ විමුක්තිය වෙනුවෙන් අරගල කොට තමන්ගේ ජීවිත පරිත්‍යාග කළ මහවිරුවන්ව අනුමත කොට ඔවුන් වෙනුවෙන් සිහිපත් කිරීමේ දිනයක් වන නොවැම්බර් 27 වන දින නීත්‍යානුකූල අනුමැතිය ලැබිය යුතු බවටයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබාගැනීමේ කොමිසම අද දිනයේත් යාපනයේ ජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගන්නා බවට එම කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා සඳහන් කළේය.

ඊට අමතරව උතුරු පළාත් ජනතාවගේ අයිතීන් දිනා ගැනීම සඳහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්ද පත්කර ඇති බවටත් ඔවුන්ගෙන්ද අදහස් යෝජනා ලබාගන්නා බවට ලාල් විජේනායක මහතා වැඩි දුරටත් කියා සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ) 

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා මහවිරු දිනය සැමරීම වෙනුවෙන් අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාව පහතින්

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 February 2016 12:34