May 21, 2024

'නාමල්, ශිරන්ති හදිසියේ අත්අඩංගුවට ගැනීම මෛත්‍රී වැළැක්වූවා'  

February 16, 2016

ජනාධිපතිවරණය අවසන් වූ පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ ආණ්ඩුවේ උත්සාහය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැළැක්වූ බව අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය ගැන ඊයේ (15) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දීය.

‘බරපතළ ප්‍රශ්න දෙකක් ආවා, එකක් ශිරන්ති රාජපක්ෂ මැතිනියට හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට, ඒ වෙලාවේ මේ අය අත්අඩංගුවට ගන්න උත්සාහ ගත්තේ. ජනාධිපතිතුමා කිව්වා පරීක්ෂණ කටයුතු කරන්න මම ඒවාට බාධා කරන්නේ නැහැ, හැබැයි එහෙම අත්අඩංගුවට ගන්න එපා එයා හිටපු ජනාධිපතිතුමාගේ භාර්යාව කියලා’යැයි අමාත්‍යවරයා පැවසී ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තමාගෙන් විධායක බලය භාවිතා කර බලෙන් ලබාගත් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ඉරිදා මීගමුවේ පළාත් පාලන මන්ත්‍රී හමුවක දී කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස් වූයේ රටට හෝ පක්ෂයට ආදරේ නිසා නොව තම පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා බවයි.

තමන් විශ්‍රාම සුවයෙන් සිටීමට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් රැක ගැනීමට පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෑතක් වන තුරු ප්‍රකාශ කර සිටියත් ඉරිදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අමතමින් පැවසුවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ නායකත්වය තමන්ගෙන් ලබාගත්තේ බලෙන් බවයි.

මේ අතර හිටපු ජනාධිපතිවරයාට සහය පළ කරමින් මීගමුවේ පැවති ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ හිටපු පළාත් පාලන මන්ත්‍රී හමුවට හිටපු පළාත් පාලන නියෝජිතයින් 1401 දෙනෙකු සහභාගි වූ බවට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන අසත්‍ය බවද එස්.බි දිසානායක මහතා පැවසුවේය.

 

Rate this item
(0 votes)