May 01, 2024

ගුරුවරියක් දණ ගැස්වූ මන්ත්‍රී පාසලට ගෙන්වූ විදුහල්පතිට වැඩ වරදී (PHOTOS)

February 14, 2016

නවගත්තේගම නවෝද්‍යා මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදු කරන බව වයඹ පළාත් අධ්‍යාපන, සංස්කෘතික, කලා කටයුතු, ක්‍රීඩා, යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා පවසයි.

වෙන්නප්පුව - ලුණුවිලදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

පාසල් ගුරුවරියක් දණ ගැස්වූ බවට චෝදනා ලැබ පුත්තලම මහාධිකරණය විසින් වරදකරු කර දඩුවම්ද නියම කළ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර යන අයව නවගත්තේගම නවෝද්‍යා මහා විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගෙන්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ  විට වයඹ පළාත් අධ්‍යාපන ඇමතිවරයා මේ බව කියා සිටියේය. අදාල හිටපු මන්ත්‍රීවරයා විසින් පාසල් ගුරුවරියක් දණ ගැස්වූවේද මෙම විද්‍යාලයේම වීම විශේෂත්වයකි.

තව දුරටත් අදහස් දැක්වූ පළාත් අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා මෙසේද කියා සිටියේය.

“ඔය උත්සවයට මටත් එක්ක කිව්වා. ඒත් මට තිබුණු වැඩ අනුව යන්න හැකියාවක් තිබුනේ නැහැ. ඒ නිසා මම බැහැ කිව්වා. ඔය සිද්ධිය මම දැන ගත්තේ ගුරු සේවා සංගමයෙන් සහ මාධ්‍යයවේදීන්ගෙන්. ඔය කියන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාගේ දරුවෝ ඉගෙන ගන්න යන්නෙත් නවගත්තේගම නවෝද්‍යා මහා විද්‍යාලයට. එතකොට පියෙකු වශයෙන් විද්‍යාලයේ උත්සවයකට සහභාගි වෙන්න එයාට අයිතියක් තියනවා. නමුත් සදාචාරාත්මක හේතු මත පාසලේ කිසියම් උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙන්න හැකියාවක් නැහැ. මේ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස මම පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙත දැනුම් දී තිබෙනවා.“

“එම පරීක්ෂණයේදී අනාවරණය වුනොත් විදුහල්පතිවරයා වරදක් කරලා තියනවා කියලා ඒකට දඩුවම් ලබා දෙන්න අපි සුදානම්. නමුත් ඇමතිවරයා ලෙස විදුහල්පතිවරයාට දඩුවම් කරන්න මට අයිතියක් නැහැ. මට කළ හැක්කේ නිර්දේශ කරන එක පමණයි. දඩුවම් ලබා දීම පළාත් අධ්‍යාපන ලේකම්වරයා හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් සිදුකරයි. “ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.      

පුත්තලම - ජුඩ් සමන්ත

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 February 2016 11:34