May 03, 2024

විද්‍යුත් හැඳුනුම්පතට බිලියන 08 ක්

February 13, 2016

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත සකස් කිරීම සඳහා රුපියල් බිලියන 08 ක් පමණ වැයවෙතැයි ගණන් බලා ඇති බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා සඳහන් කරයි.

එහි දී මහජනතාවගෙන් මුදලක් අය කර ගැනීමට සිදුවන බවත් දරිද්‍රතාවෙන් පෙළෙන බවට සහතික කළ හැකි අය එම ගාස්තුවෙන් නිදහස් කළහැකි බවත් ඇමතිවරයා සඳහන් කළේ ය.

ඉදිරි මාස 03 ඇතුළත නව හැඳුනුම්පත ලබාදීමට කටයුතු කරන බව බුද්ධික පතිරණ මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව පැවසී ය.

2015/10/07 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ සඳහා ලැබී ඇති බවත් වයස අවුරුදු 15 හෝ ඊට වැඩි සියලු ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීමට හැකිවන පරිදි 1967 අංක 37 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙන බවත් මේ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙන බවත් ඔහු සඳහන් කළේ ය.

ජාතික පුද්ගල නාමලේඛන ස්ථාපනය කිරීම සහ විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට රුපියල් බිලියන 14.5 ක් ඇස්තමේන්තුගත කර තිබුණු බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

ජාතික හැඳුනුම්පත් නොමැති පුද්ගලයන් 175,000 - 200,000 ක් අතර පිරිසක් සිටින බව ද නාවින්න මහතා පැවසී ය. 1967 අංක 12 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ 09 හා 16, 17 වැනි වගන්ති අනුව හැඳුනුම්පතක් ලබාගැනීමේ දී ගාස්තු ගෙවිය යුතු බවත්, යම් අයෙකුට දරිද්‍රතාව හේතුවෙන් ගාස්තු ගෙවීමට අපහසු නම් ඒ සඳහා සහතිකයක් නිකුත් කිරීමට කොමසාරිස් ජනරාල්, දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරයාට බලය තිබෙන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)