May 05, 2024

කොළඹ වරාය එකම වරායක් කිරීමේ සැලසුමක්

February 12, 2016

වෙන් වෙන් පර්යන්ත ලෙස නොව එකම වරායක් ලෙස කොළඹ වරාය දියුණු කිරීමේ ව්‍යාපාරික සැලැස්මක් හඳුන්වා දෙන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහළු පර්යන්තයේ අනන්‍යතාවද රැක ගනිමින් එම ව්‍යාපාරික සැලැස්ම ක්‍රියාවට නංවන බව ද අමාත්‍යවරයා පැවසූවේ කොළඹ වරාය එක්දිනකදී වැඩිම බහළුම් ප්‍රමාණයක් මෙහෙයවීමේ වාර්තාව අලුත් කිරීම ගැන අදහස් දක්වමිනි. 

කොළඹ වරාය, එක්දිනකදී වැඩිම බහළුම් ප්‍රමාණයක් මෙහෙය වීමේ වාර්තාව අලුත් කළේ පසුගිය අඟහරුවාදායි. එදින කොළඹ වරාය මෙහෙය වූ සමස්ත බහළුම් ප්‍රමාණය 22 422ක් වේ. මීට පෙර එම වාර්තාව තැබුවේ 2015 වසරේ අප්‍රේල් මස 28වැනිදායි. එදින මෙහෙය වූ බහළුම් ප්‍රමාණය 22186ක් වේ. එම වාර්තාව අලුත් කිරීමේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය අයත් ජයබහළු පර්යන්තය මෙහෙය වූ සමස්ත බහළුම් ප්‍රමාණය 9875ක් විය. 

මෙම වර්ධනය ගැන අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ 2016 වර්ෂයේදී තවත් ජයග්‍රහණ රැසක් අපේක්ෂා කරන බවයි. 

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“කොළඹ වරායේ පර්යන්ත තුනක් තියෙනවා. එයින් ජයබහළු පර්යන්තය පාලනය කරන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය. ඉතිරි පර්යන්ත දෙක පෞද්ගලික අංශය පාලනය කරනවා. දැන් අපේ අරමුණ වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහළු පර්යන්තයේ අනන්‍යතාවද රැක ගනිමින් සමස්තයක් ලෙස කොළඹ වරායට ව්‍යාපාරික සැලැස්මක් හඳුන්වා දීම. නැතිනම් එය ප්‍රවර්ධනය කිරීම. ඒ නිසා තමයි අපිට මේ වාර්තාව අළුත් කිරීමට හැකි වුණේ. එතැනදී සේවකයින්ගේ කැපවීම සහ වැඩ කිරීමේ ශක්තිය විශාල වශයෙන් මේ ජයග්‍රහණයට හේතු වුණා. සේවකයින්ගේ කැපවීම නොමැතිනම් මේ ජයග්‍රහණය ලබා ගන්න හැකියාව ලැබෙන්නේ නෑ. 2015 වර්ෂයේදී අපි මුහුණ දෙන ගැටළු හඳුනා ගත්තා. දැන් මේ වර්ෂයේදී ඒ ගැටළුවලට විසඳුම් ලබා දෙමින් සිටිනවා. ඒ නිසා අපිට ඉදිරියේදී තවත් ජයග්‍රහණ ලබා ගන්නට පුළුවන් කියලා මම විශ්වාස කරනවා“ 

පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්වකීය බහළුම් මෙහෙයුමේ ධනාත්මක වර්ධනයක් වාර්තා කිරීමටද සමත් විය. එහි විශේෂත්වය වන්නේ මාස 15කට පසුව එවැනි ධනාත්මක වර්ධනයක් වාර්තා කිරීමයි. ප්‍රතිශතයක් ලෙස ගත් විට එකී වර්ධනය + 3.6කි. 2015 ජනවාරි මාසයේදී ඇතිවූ පරිපාලන වෙනසත් සමග මෙම ජයග්‍රහණ ළගා කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවධාරණය කරයි.

Rate this item
(0 votes)