May 19, 2024

කාන්තා හිමිකම් ගැන උතුරින් යෝජනා

February 11, 2016

රජයේ මීළඟ ව්‍යවස්ථා සංශෝධනයේ දී දිවයිනේ පිහිටි රජයේ හා පෞද්ගලික සෑම කාර්යාලයකින්ම සිංහල හා දෙමළ යන රාජ්‍ය භාෂා දෙකෙන්ම රාජකාරි ඉටුකරගැනීමට ඇති හැකියාව අනිවාර්යෙන්ම ඇති කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය විසින් පත් කළ විශේෂ කමිටුවට යෝජනා කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානය එම කමිටුව පත් කළේ රජයේ මීළග ව්‍යවස්ථා සංශෝධනය සඳහා දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු යෝජනාවලියක් සකස් කිරීම පිණිසයි.

මන්නාරම දිස්ත්‍රික්කයේ විශ්‍රාමික පළාත් පාලන නිලධාරීන්ගේ සංගමයේ සභාපති එස්.සින්නතුරෙයි විසින් මෙම යෝජනාව ඉදිරිපත් කොට තවදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ රටේ ජාති,කුළ හා ආගම් භේද ඉවතලන ක්‍රමවේදයක්ද රජය නව ව්‍යවස්ථා සංශෝධනයේ දී අනිවාර්යයෙන් ඇති කළ යුතු බවයි.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් යෝජනා රැසක්ම ඉදිරිපත් වී ඇති අතර මන්නාරම කාන්තා සංවිධානයේ සභාපතිනි එස්.තිරුමලර් පැවසුවේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය හා ඔවුන්ගේ සුබ සිද්ධිය පිණිස කාන්තා කොමිසම් සභාවක් ඇති කිරීමට රජයට යෝජනා කළ බවයි.

ඊට අමතරව ලිංගික අතවර හා විවිධ අපචාරවලට ලක් වන කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය හා ආත්ම ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට කාන්තාවන් සඳහා වෙනම විශේෂ අධිකරණ කීපයක් ඇති කිරීමට තම සංවිධානය රජයට යෝජනා කොට සිටි බව ද ඇය කියා සිටියාය.

උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කිරීම, ෆෙඩරල් පාලන ක්‍රමයක් ඇති කිරීම ඇතුළුව දෙමළ ජනතාව විසින් නිතර ඉල්ලා සිටින පොදු යෝජනා රැසක්ද මන්නාරමේ කමිටු රැස්වීමට යෝජනා වශයෙන් ඉදිරිපත් වී තිබේ.

| BBC

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 February 2016 01:09