May 06, 2024

නව නීතිපති ධූරය ජයන්තට? - තේරීමේ බලය ජනපතිට හා කථානායකට

February 09, 2016

ලෝකයේ විශිෂ්ටතම නඩු මෙහෙයවන්නා ලෙස තේරී පත් වූ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරල් ජයන්ත ජයසූරිය මහතා මීළඟ නීතිපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජයසූරිය මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙකි. ජනාධිපති නීතිඥවරයෙකි. ශ්‍රී ලංකාවේ නමගිය අපරාධ නඩු මෙහෙයවා අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමට ඒ මහතා සමත් විය.

කෙසේ වෙතත් නව නීතිපතිවරයා ලෙස පත්කළ යුත්තේ කවුරුන්දැයි යන්න පිළිබඳ අවසන් තීන්දුව ගැනීම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට බාරකර ඇතැයි වාර්තා වේ.

මීළඟ නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ (08) ව්‍යවස්ථා සභාවේදී අවසන් තීරණයකට එළැඹීමට නොහැකි වීම හේතුවෙන් ඒ පිළිබඳ අවසන් තීන්දුව ගැනීම සඳහා මෙසේ ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට බාරකර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මීළඟ නීතිපතිවරයා සඳහා ව්‍යවස්ථා සභාවට සොලිසිටර් ජෙනරාල්වරුන් වන සුහද ගම්ලත්, ජයන්ත ජයසූරිය සහ කපිල වෛද්‍යරත්න යන මහත්වරුන්ගේ නම් ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබිණි. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් වන මොවුන් තිදෙනා අතුරින් නීතිපතිවරයා ලෙස පත්කර ගත යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථා සභාව රැස්වූ අතර, එහිදී මෙම නිලධාරීන් තිදෙනා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

මෙම නිලධාරීන් තිදෙනාගේ පසුගිය කාලයේ ක්‍රියාකලාපය හා ඔවුන්ගේ හැසිරීම් රටා පිළිබඳව ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් අතර සාකච්ඡා කෙරුණු අතර, එම සාකච්ඡාවලින් අනතුරුව නීතිපතිවරයා ලෙස පත්කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ නිශ්චිත තීන්දුවක් ගැනීමට ව්‍යවස්ථා සභාවේ නිලධාරීන්ට නොහැකි වී තිබේ.

ඒ අනුව මීළඟ නීතිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාට හා කථානායකවරයාට බාරකර ඇතැයි වාර්තා වේ. යුවන්ජන් විජේතිලක මහතා නීතිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේවන විට මාසයක පමණ කාලයක් ගතවී ඇතත් ස්ථිර නීතිපතිවරයෙකු පත් කිරීමට නොහැකි වී තිබේ.

 

Rate this item
(0 votes)