May 06, 2024

'ඊලාම් රාජ්‍ය' ඉල්ලා නව ව්‍යවස්ථා සංශෝධනයට යෝජනාවක්   

February 09, 2016

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කොට එය දෙමළ ඊලාම් ප්‍රාදේශීය රාජ්‍ය වශයෙන් නම් කළ යුතු බවට කිළිනොච්චියේදී යෝජනාවක් සම්මත වී තිබේ.

මෙම යෝජනාව සම්මත වී ඇත්තේ රජය මගින් සිදු කිරීමට යන ව්‍යවස්ථා සංශෝධනයේදී ඉදිරිපත් කළ යුතු යෝජනා හා අදහස් සාකච්ඡා කිරීම පිණිස කිළිනොච්චියේදී ආරම්භ කරන ලද දින දෙකක සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාව කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අතර ඊට පළාතේ මහජනතාව සහ ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයින් රැසක් සහභාගි වී තිබේ.

කිළිනොච්චිය පුරවැසි කමිටුවේ ලේකම් සින්නරාජා ජීවනායගම් කියා සිටියේ ඉදිරිපත් වූ යෝජනා වලින් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වූයේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසදුමක් වශයෙන් පෙඩරල් ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුය යන යෝජනාව බවයි.

උතුරු නැගෙනහිර පළාත් එකතු කිරීමේදී එහි වෙසෙන ජනතාව ආගම්, ජාති, කුළ වශයෙන් හෝ සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් යළි බෙදීම් වලට ලක් නොකළ යුතු බවට ස්ථිර තීරණයක් ව්‍යවස්ථාවක් තුළින්ම සම්මත විය යුතු බවටද මෙහිදී යෝජනා වී ඇත.

කිළිනොච්චියේ කාන්තාවන් සුරැකීමේ සංවිධානයේ ලේකම්  ගණේෂ්කුමාර් ග්‍රේෂි කියා සිටියේ මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මැතිවරණයකදී තේරී පත්වන මන්ත්‍රීවරුන්ගෙන් උතුරු නැගෙනහිර කාන්තා නියෝජනය සදහා මීට වඩා වැඩි ප්‍රතිශතයක් ලබාදිය යුතු බවටද සාකච්ඡා වූ බවයි.

සිංහල හා දෙමළ භාෂා භාවිතයේදී ශ්‍රී ලංකාවේ සෑම පළාතකම සාධාරණ අන්දමට එම භාෂා දෙක භාවිත විය යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

ව්‍යවස්ථා සංශෝධනය සදහා තවදුරටත් අදහස්  හා යෝජනා එකතු කිරීම කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ තවදුරටත් සිදු වෙමින් පවතී.

වවුනියාව - දිනසේන රතුගමගේ  

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 February 2016 14:23