May 20, 2024

ඇඟිළි කඩන රාගල පොලීසිය

පැමිණිල්ලක්‌ කිරීම සඳහා රාගල බෲක්‌ සයිඩ් පොලිස්‌ මුරපළට ගොස්‌ රාගල පොලිසියේ දුරකථන අංකය ඉල්ලා සිටි කාන්තාවකට එහි නිලධාරින් සිදු කළ පහරදීමකින් ඇගේ එක්‌ අතක ඇඟිලි දෙකක්‌ කැඩී නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල්ගත කිරීමෙන් පසු ඇගේ එක්‌ ඇඟිල්ලකට ශල්‍යකර්මයක්‌ සිදු කළ බව ද වාර්තා වේ.

බස්‌ රථයක කොන්දොස්‌තරවරයෙකුට ලබා දුන් රුපියල් දහසට අදාළ ඉතිරි මුදල් ලබා නොදීමේ සිද්ධියක්‌ මුල් කර ගනිමින් මෙම කාන්තාව නුවරඑළිය නගරය මැද බිම වාඩි වී විරෝධතාවක යෙදී තිබේ. 

මෙම අවස්‌ථාවේ එහි පැමිණි කාන්තා පොලිස්‌ නිලධාරිනියක සහ තවත් කාන්තාවන් දෙදෙනකු එක්‌ව ඇය ත්‍රිරෝද රථයක නංවාගෙන ඇගේ නිවසට ගොස්‌ ඇරලවා ඇති අතර ඉන් උරණ වූ කාන්තාව පසුදා පැමිණිල්ලක්‌ කිරීම සඳහා බෲක්‌සයිඩ් පොලිස්‌ මුරපොළට ගොස්‌ රාගල පොලිසියේ දුරකථන අංකය ඉල්ලා ඇත.

එහිදී ඇති වූ බහින්බස්‌ වීමකදී පොලිස්‌ මුරපළේ සිටි නිලධාරින් තමන්ට පහර දුන් බවටයි එම කාන්තාව නුවරඑළිය රෝහල් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

Rate this item
(0 votes)