May 20, 2024

උ.පෙළ වැඩිම සමත් ප්‍රතිශතය උතුරෙන්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ සමත් ප්‍රතිශතය අනුව උතුරු පළාත හා යාපනය දිස්‌ත්‍රික්‌කය ප්‍රථම ස්‌ථානයන්ට පත්ව ඇත.

විභාග දෙපාර්තමේන්තුවේ විශ්ලේෂණයට අනුව උතුරු පළාතේ විභාගය සමත් ප්‍රතිශතය සියයට 65.23 ක්‌ වන අතර දිස්‌ත්‍රික්‌ අනුව ප්‍රථම ස්‌ථානයට පත්ව ඇති යාපනය දිස්‌ත්‍රික්‌කයේ සමත් ප්‍රතිශතය සියයට 66.32 කි.

පෙර වසරේ (2014) හොඳම පළාත වූයේ සබරගමුව වූ අතර හොඳම දිස්‌ත්‍රික්‌කය වූයේ කිලිනොච්චිය යි.

මෙවර ප්‍රතිඵල අනුව සබරගමුව, බස්‌නාහිර, ඌව, දකුණ යන පළාත් පිළිවෙළින් දෙවැනි, තෙවැනි, සිව්වැනි සහ පස්‌වැනි ස්‌ථානයන්ට පත්ව ඇති අතර පෙර වසරේ එම ස්‌ථානයන්ට පත්වූයේ පිළිවෙළින් උතුර, දකුණ, ඌව හා නැඟෙනහිර යන පළාත්ය.

රත්නපුර, මන්නාරම, මඩකලපුව හා කිලිනොච්චි යන දිස්‌ත්‍රික්‌ක මෙවර පිළිවෙළින් දෙවැනි, තෙවැනි, සිවුවැනි හා පස්‌වැනි ස්‌ථානයන්ට පත්ව ඇති අතර පෙර වසරේදී වවුනියාව, මඩකලපුව, රත්නපුර සහ කෑගල්ල යන දිස්‌ත්‍රික්‌ක පිළිවෙළින් එම ස්‌ථානයන්ට පත්ව තිබිණි.

Rate this item
(0 votes)