May 19, 2024

මිය ගිය රොෂේන්ගේ දෙමව්පියන් ජනාධිපති ලේකම් කාර්යාලයට 

කටුනායක පැවති විරෝධතාවක් අතරතුර දී රොෂේන් ශානක ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ පරීක්ෂණයේ වාර්තාව කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා නිදහස් වෙළෙඳ කලාපීය සහයෝගීතා සංවිධානය අද (14) ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ තිබේ. 

මෙම අවස්ථාවට රොෂේන් ශානකගේ මව සහ සහෝදරයින් දෙදෙනෙකු පැමිණ සිටීම ද විශේෂත්වයකි. 

පෞද්ගලික අංශය සඳහා එවකට සිටි රජය විසින් යෝජිත විශ්‍රාම වැටුපට එරෙහි නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් විරෝධතාවයේ නිරතවූයේ 2011 වසරේ දී ය. 

අනතුරු ව එම වසරේ මැයි මස 30 වැනි දා මෙම විරෝධතාවට පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කළා. එම ප්‍රහාරයෙන් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් 200 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබී ය.

රොෂේන් ශානක ද මෙම ප්‍රහාරයේ දී තුවාල ලබා දින කිහිපයක් රෝහල් ගත ව සිටිය දී මියගිය අතර එම මරණය පසුව සමාජය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කළේ ය. 

එවකට සිටි රජය රොෂේන් ශානකගේ මියයෑම පිළිබඳ සොයා බැලීම සඳහා  ඒකපුද්ගල කොමිසමක් පත් කළ අතර එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ නීතීඥ මහානාම තිලකරත්න ය. 

කෙසේ වුව ද මෙම කොමිසමේ වාර්තාව මෙතෙක් එළිදක්වා නොමැත. 

කෙසේ වුව ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි පිරිසෙන් කිහිප දෙනෙකුට ජනාධිපති අතිරේක ලේකම් එන්.ඒ. කොඩිකාර හමුවීමට අවස්ථාව  හිමි විය. 

සති 02 ක් තුළ මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදෙන බව එහි දී අතිරේක ලේකම්වරයා පොරොන්දු වී ඇත.

Rate this item
(0 votes)