May 19, 2024

භික්ෂු විනය පාලනයට ගෙන ආ නව පනතට සංඝ සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර (VIDEO) 

මෙරට ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම සහ විනය කරුණු සම්බන්ධ විධිවිධාන සහ ඒවා කඩකිරීමේ දී පනවන දණ්ඩන ඇතුළත් 'ථෙරවාදී භික්ෂු කතිකාවත්' නමැති පනත් කෙටුම්පත පිළිබඳ සංඝ සමාජයෙන් ප්‍රතිචාර ලැබෙමින් පවතී.

භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම සහ විනය කරුණු සම්බන්ධ විධිවිධාන සහ ඒවා කඩ කිරීමේ දී පනවන දණ්ඩන ඇතුළත් 'ථෙරවාදී භික්ෂු කතිකාවත්' නමැති පනත් කෙටුම්පතක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉකුත් 12 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන්. "බුදුන් දේශනා කළ මාර්ගයට වඩා ‍වෙනත් මාර්ගයක යාම නිසා මේ වනවිට  භික්ෂූන් වහ‍න්සේ ජනතාව අප්‍රසාදයට පත් වෙලා තියෙනවා. යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් සිදු කරන නිසා වාණිජ කරණයට ලක් වෙලා. මේ ක්‍රියාවන්ගෙන් භික්ෂූන් වහන්සේ මුදාගෙන භික්ෂු සමාජය නිවැරදි මඟට ගත යුතුයි. බුදුන් වහන්සේ දේශනා කළ "බහුජන හිතාය බහුජන සුඛාය" බුදුවදනට අනුව විනය ක්‍රියාමාර්ග ගන්න වෙලා තියෙනවා. මේ නිසා මේක කාලීන අවශ්‍යතාවයක්." යනුවෙන් සඳහන් කළහ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥාණිස්සර හිමියන්.

"නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැති රටක, නීතිය ක්‍රියාත්මක කරන අය අවනීතියෙන් වැඩ කරන රටක, බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පනවන්නට යන නීති රීතිවල අරමුණ කුමක්ද? මේ අරමුණ මේ කාගේ උවමනාවක් ද? කිසියම් කතිකතාවතක් පනවා නම් මේ ගැන ඒ නිකායවල සිටින මහනායක හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කළ යුතුයි. උන්වහන්සේලා එකමුතුවෙන් සම්මත කරගත්‍ දේ පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගත්තාට කමක් නෑ. මේ කරන්න යන්නේ ශීලාචාර ක්‍රමයට ද අශිලාචාර ක්‍රමයට ද කියලා වර්තමාන රජය ජනතාවට පැහැදිලි කළ යුතුයි." 

"මෙකේ තියෙන ඇතැම් කරුණු වලට මා අපක්ෂපාතියි නමුත් මේකේ සඟවා තියෙනවා බරපතළ අදහසක්, ප්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ භික්ෂූන් වහන්සේට අකැප අයුරින් කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වා තිබෙනවා. මේක ඉතාම බරපතළයි. මොකද  ජාතික හෝ ආගමික වැඩකදී භික්ෂූන් වහන්සේ තමයි රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ. ඉතින් එවැනි කටයුතු වැළැක්වීම මෙහි යටිඅරමුණද? මේ විදියට බරපතළ මැඩපැවැත්වීමකටයි එන්න හදන්නේ. ඒ නිසා ඒකට දැඩි ලෙස විරුද්ධයි." ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන කළහ.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)