May 09, 2024

භික්ෂූන්ගේ විනය පාලනයට නව පනතක්

මෙරට ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම සහ විනය කරුණු සම්බන්ධ විධිවිධාන සහ ඒවා කඩකිරීමේ දී පනවන දණ්ඩන ඇතුළත් 'ථේරවාදී භික්ෂු කතිකාවත්' නමැති පනත් කෙටුම්පතක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මෙම පනතට අනුව ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල නියැළීම හෝ එම කටයුතුවලට ප්‍රචාරය ලබාදීම තහනම් අතර ඒ සඳහා දඬුවම් ලබාදිය හැකි ය. 

එමෙන්ම වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම, රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම හා වාහන පැදවීම ද දඬුවම් ලැබිය හැකි වරදවල් වේ.

ථේරවාදී භික්ෂූන්ට අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවල නිරතවීම සහ ප්‍රසිද්ධ ස්ථානවල භික්ෂූන් වහන්සේ නමකට අකැප අයුරින් කටයුතු කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදවල් ය.

එමෙන්ම එලෙස සිදු කරන උල්ලංඝණ සඳහා දඬුවම් 07 ක් පනත මගින් යෝජනා කර තිබේ. අදාළ භික්ෂූන් වහන්සේ වැඩ සිටින විහාරස්ථානයෙන් තාවකාලිකව හෝ ස්ථිරව ඉවත් කිරීම, විහාරාධිපති ධුරයෙන් තාවකාලිකව හෝ ස්ථිරව ඉවත් කිරීම, ශිෂ්‍යභාවයෙන් ඉවත් කිරීම, අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ඉවත් කිරීම හෝ භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීම එම දඬුවම් ය.

මෙම කෙටුම්පතට අනුව එක් එක් ථේරවාදී භික්ෂු නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් එම නිකායට හෝ පාර්ශ්වයට අදාළ කතිකාවතක් සකස් කර සම්මත කරගත යුතු ය. 

ඉන් අනතුරු ව එය එකී නිකායේ හෝ පාර්ශ්වයේ මහනායක හිමියන් විසින් අත්සන් කළ ප්‍රකාශයක් ද සමග බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ලියාපදිංචිය සඳහා යොමුකළ යුතු ය. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් එය විශේෂඥ මණ්ඩලයක් වෙත ඉදිරිපත් කළ යුතු අතර, මෙම විශේෂඥ මණ්ඩලය බෞද්ධ භික්ෂූන් වහන්සේලා තුන් නමකගෙන් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේට අදාළ විනය රීති පිළිබඳ දැනුමැති නීතිඥවරුන් දෙදෙනෙකුගෙන් සමත් විය යුතු බව අදාළ කෙටුම්පතෙහි දන්වා තිබේ.

ලියාපදිංචියෙන් පසුව මෙම කතිකාවතේ සියලු විධිවිධාන එකී පාර්ශ්වය හෝ නිකායන්හි සෑම භික්ෂූන් වහන්සේ නමකටම අදාළ විය යුතු බවත්, සෑම භික්ෂූන් වහන්සේ නමක් විසින්ම දැඩිව පිළිපැදිය යුතු බවත් ඊට අනුකූල ව හැසිරිය යුතු බවත් පනත් කෙටුම්පතෙහි සඳහන් ය.

මෙම පනත් කෙටුම්පතෙහි සඳහන් විධිවිධාන කඩකළහොත් අදාළ නිකාය හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව මගින් පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, චෝදනා ලත් භික්ෂූන් වහන්සේට ද අදහස් දැක්වීමට අවස්ථාව හිමි වේ.

චෝදනාවලට වැරදිකරුවන භික්ෂූන් වහන්සේට පෙර සඳහන් කළ දඬුවම් ද, එම දඬුවම් ප්‍රතික්ෂේප කරන්නේ නම් භික්ෂුව මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කර රුපියල් 50,000කට නොඅඩු දඩයක් හෝ මාස 06 ක සිර දඬුවම් ලබාදීමට හෝ එම දඬුවම් දෙකම ලබාදිය හැකි ය.

එලෙස වරදකරු වූ භික්ෂුවක වෙනත් නිකායක් හෝ පාර්ශ්වයක් මගින් බාරගැනීම නොකළ යුතු බවත්, භික්ෂුවක් ලෙස ලියාපදිංචි නොකළ යුතු බවත් පනතේ වැඩි දුරටත් සඳහන් ය.

අදාළ පනත ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා සමග සිදු කළ සාකච්ඡාවකින් පසුව ඉදිරිපත් කර ඇති බව සඳහන් අතර, මේ පිළිබඳ දෙවැනි වර කියැවීම ඉදිරියේදී දැනුම් දෙන බව සභානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 January 2016 09:42