May 08, 2024

රාජකීයේ විදුහල්පති මාරුව ගැන ඇමති අකිල කතා කරයි

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා අධ්‍යාපනය අමාත්‍යංශයට මාරුකර යැවූ බව අධ්‍යාපන ඇමති අකිල විරා‍ජ් කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (12) අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

චක්‍රලේඛ උපදෙස් කඩ කළ විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණයකට අනූව කිංග්ස්වුඩ්, රාජකීය හා ඩී.එස් සේනානායක යන පාසල් වල විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යැවූ බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ වසරේදී ආනන්ද විදුහලේ පළමු ශ්‍රේණියට ළමුන් 45ක් ඇතුළත් කර ගැනීමේදී සිදුව ඇති අක්‍රමිකතාවයක් ගැන ද ‍මාධ්‍යවේදියෙකු සංඛ්‍යා ලේඛන සහිතව ඇමතිවරයාගේ අවධානයට යොමුකළ අවස්ථාවේදී අමාත්‍යවරයා පැවසුවේ විගණන වාර්තාව අධ්‍යයනය කර තීරණයක් ගන්නා බවයි.

විගණන වාර්තාවට අනූව එම ළමුන් ඉවත් කර ගැනීම ගැන තීරණයක් ගත හැකි බවද, පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී‍ මෙම තත්ත්වය දිගුකලක සිට දක්නට ලැබෙන දෙයක් බවද ඇමතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

කොළඹ රාජකීය විදුහලට පත්කරන නව විදුහල්පති කවුදැයි තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කර ඇති අතර අධ්‍යාපන ලේකම් අද එම ලිපියට අත්සන් කළ බව අමාත්‍යංශය පැවසී ය.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 12 January 2016 17:23