May 07, 2024

මාතර දී ඇල්ලූ ගැට කිඹුලා මිය යයි

මාතර, කනන්කේ ප්‍රදේශයේ දී පොල්අතු ගංඟාවේ ගමන් කරමින් සිටිය දී ප්‍රදේශවාසීන් අල්ලාගත් අඩි 15 යි අඟලක් දිග ගැට කිඹුලා කලමැටිය වනජීවී නිලධාරීන් විසින් බුන්දල ජාතික උද්‍යානයට රැගෙන යමින් සිටිය දී මියගොස් තිබේ.

ඩී.වී චන්ද්‍රපාල නමැති ප්‍රදේශවාසියෙකු විසින් 11 වැනි දා මෙම කිඹුලා අල්ලා ගෙන ඇති අතර දින කිහිපයක් මේ සඳහා සුදානම් ව තොණ්ඩුවක් දැමීමෙන් අල්ලා ගත් බව ඔහු පවසයි.

කිඹුල් ගහනය හේතුවෙන් කනන්කේ ප්‍රදේශවාසීන්ට පොල්අතු ගංගාව අහිමි වී ඇති බවත් මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවත් චන්ද්‍රපාල මහතා පෙන්වා දෙයි.

කෙසේ වුව ද මියගිය කිඹුලාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය විජිත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) බුන්දල ජාතික උද්‍යානයේ දී සිදු කිරීමට නියමිතයි.

කෙසේ වුව ද මාතර නිල්වලා ගඟ කාලයක පටන් කිඹුලන් හේතුවෙන් මිනිසුන්ගේ ජලය පරිහරණයෙන් ඇත් වූ ගංඟාවක් බවට මේ වනවිට පත් වී තිබේ. එමෙන්ම නිල්වලා ගඟේ අතු ගංඟාවන්ට හා ඉන් ඔබ්බට කිඹුලන් බෝවීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව තුළ කිඹුල් බියක් හටගෙන තිබේ.

මිට අවස්ථා කීපයක දී ම නිල්වලා ගඟේ සිටි කිඹුලන් කිහිප දෙනෙකුම වනජීවී නිලධාරීන් විසින් අල්ලා බුන්දල හා යාල වනෝද්‍යාන තුළට මුදා හැර තිබේ. 

ඒ අතර නිල්වලා ගඟේ සිටි අඩි 16 1/2 ක් දිග කිඹුලෙකු මීට වසර 02 කට පමණ පෙර අල්ලා තිබෙන අතර ඉන් අනතුරු ව ඇල්ලු දිගම කිඹුලා මෙම මිය ගිය කිඹුලා වේ.

මේ වනවිට ලංකාවේ දිගම කිඹුලා වාර්තාවන්නේ අඩි 19 ක් දිග 2007 වර්ෂයේ දී මාදුරු ඔය තුළ දී අල්ලා ගත් කිඹුලා බව පසු වෛද්‍ය තාරක ප්‍රසාත් මහතා සඳහන් කරයි.

රාහුල් සමන්ත - හම්බන්තොට

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 12 January 2016 14:44