May 05, 2024

‍පොලිස්පති ධුරයට තුන්කොන් සටනක්!

පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ලබන අප්‍රේල් 12 වැනිදා වයස අවුරුදු 60 සම්පූර්ණවීමෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇති බැවින් ඊළඟ ‍පත්වන පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තුන්කොන් සටනක් හටගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. ‍

පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගෙන් පසු ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින්නේ ‍පොලිස් පරිපාලන අංශය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ගාමිණි නවරත්න මහතාය. 1955 වසරේ ජුලි 21 වැනිදා උපන් ඔහු වයස අවුරුදු 60 සම්පූර්ණවීමෙන් ‍පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්තද කැබිනට් තීරණයක් මත ඔහුට තවත් වසරක කාලයක සේවා දිගුවක් හිමිවිය. ඒ අනුව ඔහු ඔහුගේ සේවා දිගුව නිමවීමට නියමිතව ඇත්තේ ලබන ජුලි 21 වැනිදාය.

මේ වන විට ඔහු ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටියත් ලබන අප්‍රේල් 12 වැනිදා ‍පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විශ්‍රාම ගැනීමෙන් පසු කෙටි කාලයකටවත් ‍පොලිස්පතිවීමට අවකාශ නොමැත. ඒ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ‍පොලිස්පතිවරයා වයස අවුරුදු 60න් විශ්‍රාම ගත යුතු බවට නියමයක් පනවා ඇති බැවිණි.

එකී නියමය හේතුවෙන් ඉලංගකෝන් මහතා අවස්ථා දෙකකදී විදෙස් ගතවූ විට ‍පොලිස්පති ධුරයේ වැඩ බැලීමට පත්කරනු ලැබුවේ නවරත්න මහතාගෙන් පසු ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාය. වරක් ‍පොලිස්පතිවරයාත් එස්.එම්. වික්‍රමසිංහ මහතාත් දෙදෙනාම විදෙස්ගතව සිටින විට ‍පොලිස්පති ධුරයේ වැඩ බැලීමට පත්කරනු ලැබුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨතා ‍ලේඛනයේ ඊට පසු ඉහළින්ම සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාය. 

එස්.එම්. වික්‍රමසිංහ සහ පූජිත් ජයසුන්දර යන ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් දෙදෙනාම සහකාර ‍පොලිස් අධිකාරීවරුන් ලෙස ‍පොලිස් සේවයට එක්වන්නේ 1985 මැයි 20 වැනිදාය. මෙම නිලධාරීන් දෙදෙනා හැරුණු ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින තවත් නිලධාරියෙක් වන ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාද ‍පොලිස්පති ධුරයට ඇති තරගයේ ඉදිරියෙන්ම සිටින බව ‍පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු අනාවරණය කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 January 2016 10:56