May 05, 2024

නව ව්‍යවස්ථාව ගැන පක්ෂ - විපක්ෂ මත ගැටුමක්: සම්මත කිරීම හෙටට කල් යයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව විවාදයට ගෙන සම්මත කිරීම ගැන පාර්ලිමේන්තුව යළි හෙට (12) දිනයේ රැස් කිරීමට පක්ෂ නායකයන් තීරණය කර ඇත. 

අගමැතිවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ  සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂ කණ්ඩායම ඉදිරිපත් කළ සංශෝධන මාලාවට ආණ්ඩුවේ එකඟතාව පළ නොවීම නිසා 09 වැනි දා දිනයේ විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතව තිබූ යෝජනාව හෙට දක්වා කල් තැබිමට පක්ෂ නායකයන් මෙලෙස තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්විමක් පෙරේදා (09) පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායක නිල කාමරයේදී පැවැති අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ. 

මීට පෙර තීරණය කර තිබුණේ 09 වැනිදාම මෙම යෝජනාව විවාදයට ගෙන අනුමත කර ගැනීමටය. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු රැස්විම් කාලය එදින පෙ.ව 10.30 සිට සවස 7.30 දක්වා පැවැත්වීමට සභා අනුමැතිය ගැනීමට වූ යෝජනාවක්ද න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබිණි.

එහෙත් එදින පැවැති පක්ෂ නායක රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂ කණ්ඩායම යෝජනාව සඳහා සංශෝධන ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙම යෝජනාව සඳහා සංශෝධන ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා සම්බන්ධයෙන් එකඟතාව පළ කර ඇතත් අනෙක් යෝජනා සම්බන්ධයෙන් පක්ෂ අතර එකඟතාවක් පළ නොවීම නිසා මෙලෙස කල් දැමීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.

අගමැතිවරයාගේ යෝජනාවේ ස්ථාවර නියෝග වෙනස් කරමින් ව්‍යවස්ථා කමිටුවක් පත් කරද්දී පාර්ලිමේන්තුවම එවැනි කමිටුවක් පත්කරද්දී යම් අඩුපාඩුවක් වුණොත් එයට පාර්ලිමේන්තුවම වගකිව යුතුව ඇති බැවින් යම් යම් යෝජනා සංශෝධනය කළ යුතු බවට විපක්ෂය පෙන්වා දී තිබේ. 

මෙහිදී වැඩියෙන්ම විපක්ෂය අවධානය යොමුකර ඇත්තේ ජාතික ගැටලුව හා ජාතික ආරක්ෂාව යන කාරණාවන්ය. කෙසේ වුවත් යළිත් 12 වැනිදා පෙරවරුවේ යළිත් පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පක්ෂ නායකයෝ තීරණය කර ඇති අතර ඉන් පසුව එදින අගමැතිවරයාගේ යෝජනාව විවාදයට ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටද තීරණය කර තිබේ.

Rate this item
(0 votes)