May 05, 2024

ඇඹිලිපිටිය තරුණයාගේ අවසන් කටයුතු සාමකාමීව සිදුකරයි

ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් පසු උඩුමහලකින් ඇද වැටී මිය ගිය 29 හැවිරිදි සුමිත් ප්‍රසන්නගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (10) ඇඹිලිපිටිය පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි. 

මේ අතර, ඇඹිලිපිටිය නගරය පුරා විශේෂ කාර්ය බලකාය මෙන්ම පොලීසිය දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. 

පසුගිය ජනවාරි 4 වැනි දා පැවැති සාදයකදී පොලීසිය සමඟ ඇති වූ ගැටුමකින් පසු ඇඹිලිපිටිය නව නගරයේ පදිංචි සුමිත් ප්‍රසන්න උඩුමහලකින් ඇද වැටී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගියේය. 

සිද්ධියත් සමඟ ඇඹිලිපිටිය නගරයේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර ප්‍රදේශවාසීන් පොලීසියට දැඩි විරෝධයක් පළ කළේය.

ඒ අනුව විශේෂ කාර්ය බලකාය සහ අමතර පොලිස් කණ්ඩායම් ඇඹිලිපිටියට කැදවූ අතර එම සිද්ධිය හේතුවෙන් ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 21 දෙනෙකු තාවකාලිකව ස්ථාන මාරු කළේය. 

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබුණේ සිරුරේ ඇති වූ බහුවිධ තුවාල නිසා අභ්‍යන්තර රුධිර වහනය අධිකවීම හේතුවෙන් සුමිත්ගේ මරණය සිදුව ඇති බවයි. 

ප්‍රදේශයේ ඇති වූ තත්ත්වය පදනම් කරගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මිය ගිය සුමිත්ගේ බිරිඳට මීට පෙර නියෝග කර තිබුණේ දේහය රැගෙන රිය පෙරහර පැවැත්වීමෙන් වළකින ලෙසයි. 

එසේම ඇඹිලිපිටිය පොලීසිය ඉදිරිපිට විරෝධතාවයේ යෙදීම ද අධිකරණය තහනම් කර තිබිණි. 

මේ අතර, සුමිත් ප්‍රසන්නගේ බිරිඳට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද තවත් නියෝගයක් නිකුත් කර තිබුණේ සුමිත්ගේ අවමංගල්‍ය උත්සවය ගෞරවාන්විතව සිදුකිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය මැදිහත්වීමක් සිදුනොකරන බව ද සිහිපත් කරමිනි.

මේ අතර, ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ තිබෙන සියලූම මත්පැන් අලෙවිසැල් අද දිනයේ වසා තබන ලෙස සුරා බදු කොමසාරිස්වරයා නියෝග කළේය. 

පස්වරු 3.30ට පමණ සුමිත්ගේ දේහය රැගත් අවමංගල්‍යය පෙරහර නිවසින් ගමන් ආරම්භ කළ අතර එම කටයුතු හේතුවෙන් ඔහුගේ නිවස ඉදිරිපිටින් දිවෙන මාර්ගය විශේෂ කාර්ය බලකාය විසින් වසා දමා තිබිණි. 

ඔහුගේ අවසන් කටයුතු වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තාවේ.

 

Rate this item
(0 votes)