May 04, 2024

යහපාලනයට වසරක් සපිරෙන විට මහින්දගෙන් නව පක්ෂය ගැන ඉඟියක් (VIDEO)  

මේ දිනවල වැඩි වශයෙන් මාධ්‍යයේ පෙනී නොසිටින්නේ තමන් කුස්සියේ ඇති වළං, හට්ටි - මුට්ටි ගණන් කරමින් සිටින නිසා බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විදුලි බලයෙන් ක්‍රියාකරන කුස්සියේ හා වැසිකිළියේ උපකරණ ගැන මේ දිනවල තමාගෙන් ප්‍රශ්න කරන බැවින් එසේ කිරීමට සිදුව ඇති බව ඊයේ (07) මහනුවර දළදා මාළිගාව වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

පිටතදී රජය විවේචනය කරන හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ඒ ගැන ප්‍රශ්න නොකරන්නේ මන්දැයි ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ තමා අවශ්‍යම දේ අවශ්‍යම මොහොතේදී කතා කරන බවයි.

එසේ වුවද අරගලය ගෙනයාමට අලුත් උදවිය පාර්ලිමේන්තුවේ සිටින බවත්, ඒ අයට ඉඩදී ඇති බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමා එළවීමට පිරිසක් සැලසුම් කරන බවත්, ශ්‍රීලනිපයේ සැබෑ ප්‍රතිපත්තිය බණ්ඩාරනායක ප්‍රතිපත්තිය බවත්, අනුර බණ්ඩාරනායක පවා පක්ෂය හැරයද්දී තමන් එකී ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ බවත් රාජපක්ෂ මහතා පැවසී ය.

අලුත් පක්ෂයක් නිර්මාණය කරන බවට පැතිරයන ආරංචි සම්බන්ධයෙන් කළ විමසීමකදී මහින්ද රාජපක්ෂ මහතා පැවසූවේ මේ ආකාරයට ගියහොත් විපක්ෂයේ කාර්යබාර්ය ඉටුකිරීම සඳහා අලුත් පක්ෂයක් නිර්මාණය වනු ඇති බවයි.

වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂයක් නොමැති බවත්, විපක්ෂ නායකවරයා පවා මේ රජය බලයට පත්කිරීමට සහය දුන් කෙනෙකු බවත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය දරන ජවිපෙ නායකයාද ආණ්ඩුව බලයට ගෙන ඒමට සහයදී අවශ්‍ය මොහොතේ ආණ්ඩුව ආරක්ෂා කරන අයෙකු බවද හෙතෙම සඳහන් කළේය.

 

Rate this item
(0 votes)