May 08, 2024

මුදල් ගැරූ කිංස්වුඩ් විදුහල්පතිගේ වැඩ තහනම් 

චක්‍රලේඛයන්ට පටහැනි ව මුදල් රැස්කළ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ විදුහල්පතිගේ රාජකාරි වැඩ තහනම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛවලට පටහැනි ව රුපියල් 3625,000.00 ක මුදලක් එක් රැස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගය පරිදි සිදු කරන ලද විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි එම මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක් වේ.

එහි මෙසේ ද සඳහන් ය.

අදාළ විදුහල්පතිවරයා විසින් 2016 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමට නියමිත මව්පියන්ගෙන් පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා යැයි පවසමින් මෙම මුදල් එක් රැස්කර ඇති බව විගණන නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත.

රුපියල් 50000.00 බැගින් 65 දෙනෙකුගෙන් ද , රුපියල් 75,000.00 බැගින් එක් අයෙකුගෙන් ද රුපියල් 150000.00 බැගින් දෙදෙනෙකු ආදී වශයෙන් අදාළ විදුහල්පතිවරයාගේ අනුදැනුම මත රුපියල් 3625,000.00 ක මුදල එක්රැස් කර ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කිංස්වුඩ් විද්‍යාලයට සිව් මහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති මොහොතක අදාළ විදුහල්පතිවරයා විසින් මෙම මුදල් එක්රැස් කිරීම සිදුකර ඇත.

පාසලේ 2016 වාර්ෂික අයවැය ඇස්තමේන්තුවට ඇතුළත් නොකරන ලද අදාළ කාර්යාල ගොඩනැගිල්ල සඳහා මව් පියන්ගෙන් මුදල් රැස්කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ 04ක් උල්ලංඝණය කිරීමකි.

ඒ අනුව 

23/2013  - 2013-05-23 -  පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ චක්‍රලේඛය

11/2013 -  2013-03-13 -  පාසල්වල විවිධ අවස්ථාවල මුදල් එකතු කිරීම පිළිබඳ චක්‍රලේඛය

05/2015 -  2015-01-29 -  පාසල්වල අවිධිමත් ලෙස මුදල් අයකිරීම තහනම් කිරීම පිළිබඳ චක්‍රලේඛය

07/2013 - 2013 -11-28  - පාසල් පාදක ගුණාත්මක ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා                                

සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය

යන චක්‍රලේඛයන් අදාළ විදුහල්පතිවරයා විසින් උල්ලංඝණය කර ඇති බව විශේෂ විගණන පරීක්ෂණයේ දී අනාවරණය විය.

ඒ අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පැවැත්වීමට සහ ඔහුගේ රාජකාරි වැඩ තහනම් කිරීමට අධ්‍යාපන ලේකම්වරයා නියෝග කර තිබේ.

පාසල්වලට මුදල් එක්රැස්කිරීමේ දී අයථා ක්‍රම යොදා ගනිමින් චක්‍රලේඛයන්ට පටහැනි ව මව් පියන්ගෙන් මුදල් ලබා ගන්නා විදුහල්පතිවරු සම්බන්ධයෙන් මේ වනවිටත් පැමිණිලි රැසක් ලැබී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් සොයා බලා තරාතිරම නොබලා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට සෘජුව ම උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව මේ වනවිටත් විමර්ශන කණ්ඩායම් කිහිපයක් විසින් පාසල්වල අයථා ලෙස මුදල් රැස්කිරීම් පිළිබඳ විමර්ශන කටයුතු අරඹා ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛවලට අනුව විධිමත් ක්‍රමවේදයන්ට යටත්ව මුදල් සම්පාදනය කර ගැනීමේ හැකියාව තිබිය දී චක්‍රලේඛ උල්ලංඝණය කරමින් කිංස්වුඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් එක් රැස්කරන ලද රුපියල් තිස්හය ලක්ෂ විසිපන්දහසක මුදල මව්පියන්ට නැවත ලබාදීමට කටයුතු කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Rate this item
(0 votes)