May 02, 2024

රේගු පරීක්‍ෂණ තිබියදී ප‍්‍රාඩෝ රථ මුදාහරී - රේගු සංගමයෙන් ජනපතිට ලිපියක් 

රේගු පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබූ ටොයෝටා ප‍්‍රාඩෝ TRJ 150W මෝටර් රථ මුදාහැරීම පිළිබඳව මුදල් ඇමතිවරයාත්, රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුලූ රේගු පරිපාලනයත් මෙම වාහන සම්බන්ධ පරීක්‍ෂණ කළ නිලධාරීනුත්, සියලූ වෘත්තීය සමිති නියෝජිතයිනුත් සම්බන්ධ කරගත් සාකච්ඡාවක් ලබාදෙන ලෙස සමස්ත ලංකා රේගු සේවා සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජේ.ඒ.ගුණතිලක මහතාගේ අත්සනින් ජනාධිපතිවරයාට යැවූ ලිපිය පහතින් දැක්වේ.

රේගු පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබූ ටොයෝටා ප‍්‍රාඩෝ TRJ 150W මෝටර් රථ මුදාහැරීම පිළිබඳව සාකච්ඡාවක් ලබාගැනීම.

උක්ත කරුණ සම්බන්ධයෙන් අප සංගමය 2015. 12. 17 දින ඔබතුමා දැනුවත් කළෙමු. එහි ප‍්‍රතිඵලයක් ලෙස මුදල් ඇමතිවරයාගේ උපදෙස් මත රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඔබවෙත යොමුකරන ලද ලිපියේ හා ඔහු විසින් ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලද ලිපිවල පිටපත් අපවෙත ලැබී තිබේ. 

ඒවායෙහි සඳහන් බොහෝ කරුණු සත්‍ය නොවන අතර රටේ මුල් පුරවැසියා වන ඔබත් පොදු මහජනයාත් ඒ මගින් බරපතල මුලාවකට ලක්කර ඇත. එසේම මහා භාණ්ඩාගාරය වෙත යා යුතු කෝටි ගණනක් වන මහජන මුදල් වලින් තම සාක්කු පුරවාගන්නා ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු ‘‘අහිංසක ආනයනකරුවන්’’ ලෙස බෞතීෂ්ම කිරීමටද ඔහු විසින් නිරර්තක උත්සාහයක්ද දරා තිබේ.

මෙම රේගු පරීක්‍ෂණය පැවැත්වෙන අතරතුර පරීක්‍ෂණයට පදනම්වූ මූලික නීතිමය ලියවිල්ලක් වන 2015. 02. 15 දිනැති අංක 1901/03 දරණ රජයේ ගැසට් පත‍්‍රයද ඉතාමත් සහාසික ලෙස වෙනස් කර තිබේ. ඒ අනුව අදාල ජාවාරම්කරුවන්ට වාසිවන අයුරින් 2015. 09. 22 දින අංක 1933/16 දරණ නව ගැසට් පත‍්‍රයක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් නිකුත්කර තිබේ. මෙම ගැසට් පත‍්‍රය මගින් නීති විරෝධී ලෙස ව්‍යාජ මිලගණන් ඉදිරිපත් කරමින් මෝටර් රථ ආනයනය කරන්නන්ට එරෙහිව ක‍්‍රියා කිරීමට රේගු නිලධාරීන්ට තිබූ බලය අහෝසි කර තිබේ. මෙය රටට ඉතාමත් අහිතකර ලෙස බලපානු ඇත.

උක්ත රේගු පරීක්‍ෂණය සඳහා අදාල කරගත යුත්තේ 2015. 02. 10 දිනැති අංක 1901/03 දරණ ගැසට් පත‍්‍රය වුවත් රවී කරුණානායක මහතා හා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම වාහන ආනයනකරුවන්ට මුදාහැරීම සඳහා 2015. 09. 22 දිනැති අංක 1933/16 දරණ ගැසට් පත‍්‍රයද යොදාගෙන තිබේ.

තීරු බදු රහිත වාහන බලපත‍්‍ර මගින් සුඛෝපභෝගී වාහන ආනයනය කිරීම නිසා රජයට රුපියල් මිලියන 3000 කට අධික පාඩුවක් සිදුවී ඇති බවට විගණන විමසුම් මගින් පෙන්වා තිබියදීත් ඒවා කිසිදු සැලකිල්ලකට නොගෙන මුදල් ඇමතිවරයා හා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ජාවාරම්කරුවන්ට වාසි වන පරිදි කටයුතු කර ඇති බව අපි ඔබතුමාට යලිත් අවධාරණය කර සිටිමු.

මේ ආකාරයෙන්ම මහජන මුදල් ගසාකෑ බවට චෝදනා ලැබූ රාජපක්‍ෂ පාලනය පෙරලා දමා ඔබතුමාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු හා නිලධාරීන් එක්ව ගෙනයන මෙම මහජන මුදල් කොල්ලයේ වගඋත්තරකරුවෙක් නොවී සිටීමට ඔබතුමාටද නොහැකි වනු ඇත.

එබැවින් මේ පිළිබඳව අවධානය යොමුකර ඉතා ඉක්මනින් මුදල් ඇමතිවරයාත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුලූ රේගු පරිපාලනයත් මෙම වාහන සම්බන්ධ පරීක්‍ෂණ කළ නිලධාරීනුත් සියලූ වෘත්තීය සමිති නියෝජිතයිනුත් සම්බන්ධ කරගත් සාකච්ඡාවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.

ඔබගේ පහසුව පිණිස පහත සඳහන් ලිපි මේ සමග ඉදිරිපත් කරමු.

01 අප සංගමය විසින් 2015. 12. 17 වැනි දින ඔබ වෙත යොමුකළ ලිපිය.

02 විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරන ලද අංක FB/D/CUS/2015/01 දරණ විගණන විමසුම

03 2015. 10. 22 දිනැති අංක 1933/16 දරණ ගැසට් පත‍්‍රය

04 2015.02. 10 දිනැති අංක 1901/03 දරණ ගැසට් පත‍්‍රය

05 මෙම වාහන මුදාහැරීම ඉක්මන් කරන ලෙස රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලිපිය.

06 සාමාන්‍ය ආනයනයක් ලෙස කරන ලද TRJ 150W වාහනයක රේගු ප‍්‍රකාශනයක පිටපතක්.

Rate this item
(0 votes)