May 17, 2024

වරාය සන්නිවේදන ප්‍රධානී කාර්යාලයට සීල් තැබේ 

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශ ප්‍රධානී කාර්යාලය සීල් තැබීමට ගත් පියවරට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට වරායේ ක්‍රිකට් ගැසීමට ඉඩ නොදෙන  බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත ලංකා පොදු සේවක සංගමයේ සභාපති චන්ද්‍රසිරි මහගමගේ මහතා පවසයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම සීල් තැබීම ඊයේ (05) සවස සිදුකර තිබෙන බවත්, මූල්‍ය අක්‍රමිකතාවක් ඒ සඳහා හේතු ලෙස දන්වා ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශ ප්‍රධානී ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපති වීම මෙන්ම පසුගියදා පැවති ක්‍රිකට් නිලවරණයේදී සිදුවූ කුමක් හෝ සිදුවීමක් පදනම් කරගෙන මෙම සීල් තැබීම සිදුකරන්නට ඇති බවට විශ්වාස කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

වරායේ මෙහෙයුම් ධාරිතාව ශීඝ්‍ර ලෙස පහළ වැටී තිබෙන අවස්ථාවක එයට පිළියම් නොගෙන ක්‍රිකට් ප්‍රශ්නයක් ඉදිරියට දමා කටයුතු කිරීමට තම සංගමය විරුද්ධ බවද ඔහු පැවසී ය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ ප්‍රවීණ විස්තර විචාරක හා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව බොහෝ කාලයක් නියෝජනය කළ නලින් අපොන්සු මහතායි. ඔහු ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාද වෙයි. මෙවර නිලවරණයේදී ජනසතු සේවා ක්‍රිකට් සංගමය තීරණය කර තිබුණේ සභාපති තනතුර සඳහා තිලංග සුමතිපාල මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමටයි.

ජනසතු සේවා සංගමය එවැනි තීරණයක් ගෙන තිබුණද, තමන් කැමති ආකාරයකට ඡන්දය පාවිච්චි කිරීමට නලින් අපොන්සු මහතාට නිදහස දී තිබුණි. ක්‍රිකට් නිලවරණයේදී නලින් අපොන්සු මහතා සභාපති තනතුර සඳහා සිය ඡන්දය භාවිත නොකළද, උප සභාපති තනතුර සඳහා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාට ඡන්දය ප්‍රකාශ කර තිබුණි. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී වත්මන් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේ නිමාවූ ක්‍රිකට් නිලවරණයේදී රාජ්‍ය සේවකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේදී විශාල පීඩනයක් එල්ලවී තිබුණ බවයි.  

 

Rate this item
(0 votes)