May 17, 2024

ග්ලයිෆොසෙට් තහනමේ අවාසියක් දුමින්ද හෙළි කරයි

ගල්යිෆොසෙට් තහනම හේතුවෙන් මෙවර බඩඉරිඟු නිෂ්පාදනය  20%කින් අඩු විය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

එම වල්නාශක තහනම් කළේ කිසිවෙකුගෙන් පළි ගැනීමකට නොවන බවත් කාගෙන් හෝ සිදුවන හානිය සැලකිල්ලට ගෙන බවත් ඔහු පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිය අමාත්‍යංශයේ දි පැවති මාධ්‍ය හමුවක දී ය.

එසේම පසුගිය රජය සමයේ පොහොර සහනාධාර ක්‍රමය යටතේ ගෙන් වූ පො‍හොර මිටියක් අලෙවි කළ හැක්කේ රුපියල් 1200 -1300 අතර මිලකට බවත්, ඇතැම් වෙළෙඳුන් ඒවා 3000 - 3500 අලෙවි කරන බවට තොරතුරු ඇති බවත් එය නීති විරෝධී බවත්, ඇමතිවරයා සඳහන් කළේ ය.

ඒ හේතුවෙන් ඒවා අලෙවි කළ යුත්තේ රුපියල් 1200 -1300 අතර මිලට බව ද වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට‍ එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු පැවසී ය.

සහනාධාර ක්‍රමය යටතේ පො‍හොර ගෙන් වූ සමාගම් එම සහනය ලබාදීමට එකඟ වී තිබිය දී මෙසේ වැඩි මිලට වෙළෙඳුන් විසින් ඒවා විකිණීම නොකළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

එසේම සහනාධාර පොහොර තොග අවසන් වූ පසු අය වැයෙන් යෝජනා කළ පරිදි පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබාදීමේ කටයුතු අරඹන බව ද ඔහු පැවසී ය.

අන්නාසි, ගස්ලබු හා කෙසෙල් වගාවන් සඳහා අය වැයෙන් පොහොර සහනාධාරය හිමිවන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

මේ අතර වී ගොවීන්ට ගොවිජන සේවා මධ්‍යස්ථානවල ලියාපදිංචි විය හැකි බව ද ඔවුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය යුතු කතාව තමන් නොදන්නා බව ද එය විහිළුවක් යැයි ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)