May 17, 2024

පෙළපොත් වෙනුවට E-Books? (VIDEO)

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සම්ප්‍රදාය වෙනස් කිරීම සඳහා නොබියව තීරණ ගන්නා බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේය.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න

අමාත්‍යවරයා මේ බව පැවසූවේ කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වුණු 2016 වසර සඳහා පාසල් පෙළ පොත් බෙදාදීමේ උත්සවය අමතමිනි.

තව ද පාසැල් නිළ ඇඳුම් වව්චර් ක්‍රමය යටතේ බෙදා දීමට ගත් පියවර මෙන්ම පාසැල් පෙළ පොත් ක්‍රමය ද වෙනස් කිරීමට බලාපොරොත්තු වෙන බව පැවසූ අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසූවේ මේ සඳහා E-Book තාක්ෂණය ලොව පුරා ප්‍රචලිතව වී ඇති බවයි.

එහි දී අදහස් දැක්වූ කාරියවසම් මහතා මෙසේ පැවසුවේ ය.

"පාසල් පෙළ පොත් නොමිලේ ලබාදීම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1980දී කුලියාපිටිය ආසනයේ නක්කාවත්ත මහා විද්‍යාලයේදී ආරම්භ කළා. එවකට අධ්‍යාපන සේවා ඇමැති ලයනල් ජයතිලක කුලියාපිටිය ආසනය නියෝජනය කළා. මා පාසල් යෑම ආරම්භ කළේත් ඒ කාලයේදීයි. අද මා කුලියාපිටිය නියෝජනය කරන අතර අධ්‍යාපන ඇමැතිවරයාද වශයෙන් පෙළ පොත් බෙදාදීමේ ජාතික උත්සවයට සහභාගි වෙනවා. එය සතුටට කරුණක්.
රජය නොමිලේ පෙළ පොත් ලබාදීමට මෙවර රුපියල් බිලියන 3.6ක් වැනි විශාල වැය බරක් දරනවා. ඒ නිසා අලුත් පොත් ලබා ගන්නා දරුවන් ඒවා ක්‍රමානුකූලව ආරක්‍ෂිතව පරිහරණය කර, ලබන වසරේදී ඊළඟට එන නංගිලා මල්ලිලාට ලබා දෙන්නැයි මා ඉල්ලීමක් කරනවා.

නිල ඇඳුම් සඳහා වවුචරයක් හඳුන්වා දුන්නා. ප්‍රමිතියෙන් තොරව ඒ කාලෙ ගෙන්වන ලද නිල ඇඳුම් රෙදි පැකට් ලක්‍ෂ 12ක් ගබඩාවල තවමත් තිබෙනවා. අප සම්ප්‍රදාය වෙනස් කළා. බොහෝ අය සම්ප්‍රදාය වෙනස් කිරීමට බයයි. එහෙම කරන්න ගිය විට එන ප්‍රහාරවලට මුහුණදීමට සිදු වෙනවා. එහෙත් අප බය නැතිව තීරණ ගත් නිසා බොහෝ වෙනස්කම් කළ හැකි වුණා.

කාලයකට පෙර විපක්‍ෂයේ සිටි අය පෙළ පොත් ගැන හඬ නැඟුවා. මෑත කාලයේ ප්‍රශ්න අවම වී තිබෙනවා. ඒ ගැන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්ට ස්තුති කරනවා.
අප ඇමැති ධුරය භාර ගන්නා කාලෙ සිසුන්, පාසල් ගුරුවරුන් ගැන පවා දත්ත තිබුණේ නැහැ. ඒවා පොත් හා නිල ඇඳුම් දීමට පවා ගැටලු මතු කළා.
නවීන ලෝකයට ගැළපෙන පරිදි පාසල් පෙළ පොත් වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. නව තාක්‍ෂණය ඒ සඳහා යොදා ගන්නවා.
ලෝකය පුරා E-Books බහුල වෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් ඒ සඳහා යොමුවීමට පියවර ගෙන තිබෙනවා.
මීට පෙර ටෙන්ඩර් ගැන ගැටලු තිබුණා. දැන් ඒවා නැහැ. වත්මන් පාලනය යටතේ ඒවා විනිවිද පෙනෙන ආකාරයට සිදු කෙරෙනවා. අද ප්‍රමිතියෙන් යුතු පෙළපොත් දෙනවා. අමතර කියවීම් පොත් පවා ලබා දෙනවා."

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 January 2016 10:26