May 17, 2024

ලංගම ආසන තුනේ බස් ඉවතට

මගී ජනතාව අපහසුතාවට පත්වන ආකාරයට බස් රථවල සකස් කර තිබෙන ආසන තුනේ පේළි ක්‍රමය ඉවත් කරන ලෙසට ඔම්බුඩ්ස්මන්වරයාට සිදුකළ පැමිණිල්ලකට අනුව, ලංගම බස් රථවල තිබෙන ආසන තුනේ පේළි  ආසන දෙකක් කිරීමට ඊයේ (05) ලංගම බලධාරීන් ඔම්බුඩ්ස්මන්වරයා ඉදිරියේ පොරොන්දු වූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ප්‍රකාශ කරයි.

බස් රථවල සකස් කර තිබෙන ආසන තුනේ පේළිවලින් එක් ආසනයක් ගලවා දමන ලෙසට තම සංගමය ඔම්බුඩ්ස්මන්වරයාට පැමිණිලි කර තිබූ බවත්, එම පැමිණිල්ල ඊයේ විභාගයට ගත් බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරීන්ට, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධාරීන්ට හා ලංගම බලධාරීන්ට,ආරාධනා කර තිබූ නමුත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් කිසිදු නියෝජිතයෙක් ඊට සහභාගී නොවූ බව ද ඔහු සදහන් කළේය.

පැමිණිල්ල විභාග කිරීමේ අවස්ථාවට සහභාගී වූ ලංගම බලධාරීන් එක් ආසනයක් ඉවත් කිරීමට අමතරව මින් ඉදිරියට බස් රථ ගෙන්වීමේදී ආසන දෙකේ පේළි සහිත බස් රථ පමණක් ගෙන්වන බවට ද පොරොන්දු වූ බව රංජිත් විතානගේ මහතා සදහන් කළේය.

මෙයට අමතරව බස් රථවල ආසනවල පරතරය සහ පළල පිළිබඳව නව නීති සකස් කිරීම කෙරෙහි අවධානය යොමුකරන බවටත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළ බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් අදාළ අවස්ථාවට නොපැමිණිම හේතුවෙන් පෞද්ගලික බස් රථවල සකස් කර තිබෙනා ආසන තුනේ පේළියෙන් එක් ආසනයක් ඉවත් කරන ලෙසට ඔවුන්ට ඉල්ලීමක් කරන බවද සභාපතිවරයා කියා සිටියේය. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 January 2016 10:05