May 17, 2024

කොන්ඩම් භාවිතය ඉහළට

1987 සිට ගෙවුණු වසර 20 ක කාලය සැලකීමේ දී මෙරට උපත් පාලන කොපු භාවිතය 1.9% සිට 06% දක්වා ඉහළ ගොස් ඇතැයි ඒඩ්ස් රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ කොන්ඩම් භාවිතය පිළිබඳ 2015 මාර්තු මාසයේ දී ආරම්භ කළ අධ්‍යයනය අනුව ඒවා භාවිතය, ප්‍රවේශය, බෙදාහැරීම දැනුවත් කිරීමේ වැඩසටහන් ආදිය සලකා බැලුණු අතර, පවතින ප්‍රතිපත්තිය යටතේ කොන්ඩම් භාවිතය, ප්‍රචලිත කිරීම පිළිබඳ පවතින සෘජු හා වක්‍ර කරුණු ද සාකච්ඡාවට බඳුන් වූ බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

එහි දී තවදුරටත් ප්‍රකාශ කෙරුණු කරුණු අනුව ශ්‍රී ලංකාවේ පළමු එච්.අයි.වී. ආසාදිතයා 1987 වර්ෂයේදී වාර්තා වූ අතර, 2015 වසරේ තුන්වැනි කාර්තුව අවසන් වනවිට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ දත්තවලට අනුව මේ වනවිට මෙරට ජීවත්වන එච්.අයි.වී. ආසාදිතයන් ගණන 2,241 ක් බව ද වාර්තා වේ. මීට අමතරව එච්.අයි.වී. රෝගීන් 557 ක් වාර්තා වී තිබේ.

වයස අවුරුදු 15-49 ක් වූ වයස් කාණ්ඩයේ එච්.අයි.වී ව්‍යාප්තිය 2014 වසර අවසන් වනවිට 01% ක් ලෙස පැවති අතර වැඩිම අගයක් වාර්තාවනුයේ 25-49 වයස් කාණ්ඩයේ පුද්ගලයන් අතර ය. එය ප්‍රතිශතයක් ලෙස 75% කි. අවුරුදු 15 ට අඩු පිරිස් අතර ව්‍යාප්තිය ගණන් බලා ඇත්තේ 3% ක් වශයෙනි.

තවදුරටත් එච්.අයි.වී.ව්‍යාප්තිය ඉහළ අගයක් දක්වා ඇත්තේ විෂම ලිංගික සබඳතා හේතුවෙනි. අනාරක්ෂිත ලිංගික ක්‍රියා වැළැක්වීම සඳහා කොන්ඩම් භාවිතය පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් ඇතුළත් කෘතියක් සහ එච්.අයි.වී පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදෙන විට අනුගමනය කළයුතු ක්‍රමමෝපායන් පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග නිවාරණ ඒකකය විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇති අතර, මෙම තොරතුරු හෙළි වූයේ එම කෘති ඒඩ්ස් රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා විසින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා වෙත පිළිගැන්වීමෙන් අනතුරු ය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 January 2016 09:00