May 17, 2024

තාජුඩීන් ඝාතනය: CCTV දර්ශනවල සැකකටයුතු වාහනයක් - CCTV දර්ශන අමෙරිකාවට?

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සීසීටීවී කැමරා දර්ශන අමෙරිකාවේ එෆ්බීඅයි, එම්.පී.එස් හෝ එංගලන්තයේ ස්කොට්ලන්ඩ් යාඩ් අධිකරණ විද්‍යා පිළිබඳ විද්‍යාගාරයකට යැවීම සුදුසු බව කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට අද (05) දැන්වීය.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය අද අධිකරණය හමුවේ කියා සිටියේ සැකකටයුතු වාහනයක් සීසීටීවී දර්ශනවල ඇතත් එම දර්ශනවල දුර්වල තත්ත්වය නිසාත් තම විද්‍යාගාරයේ තාක්ෂණ සීමාසහිතවීම නිසාත් වාහනයේ අංක තහඩුව හඳුනාගත නොහැකි බවයි. 

නාරාහේන්පිට හා කිරුළපන ප්‍රදේශයේදී ගත් බව කියන ඩීවීඩී හා සීඩී තැටි හතරක් පිරික්සූ බවත් සැකකටයුතු වාහනයක් එහි ඇති බවත් කොළඹ විශ්ව විද්‍යාල පරිගණක අංශය අධිකරණයට දැන්වීය.

මාර්ගයේ ආලෝකයත් වාහන ආලෝකයත් නිසාත් අඳුරේදී මෙම වීඩියෝ දර්ශන ගෙන ඇති නිසාත් අංක තහඩුව පැහැදිලිව හඳුනාගත නොහැකි බව විශ්ව විද්‍යාල පරිගණක අංශය අධිකරණයට දැන්වීය. 

ඩබ්ලිව්.පී.කේ.යූ - 6543 දරණ සැක කටයුතු වාහනයේ මිනිසුන් සිටීදැයි හඳුනාගැනීමටද නොහැකි බව විශ්ව විද්‍යාල පරිගණක අංශ වාර්තාවේ දැක්වේ. එම සීසීටීවී දර්ශන විශ්ලේෂණයට විදේශ විශේෂඥ සහාය ලබාගත හැකි බව මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට මීට පෙර දන්වා තිබිණි. නඩුව වැඩිදුර විභාගය ජනවාරි 07 වැනිදා ට කල් තැබිණි.

 

 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 January 2016 11:16